Gossips

මැදිරිගිරියෙන් සොයා ගත් දඹරන් පිළිම තුනක් අතුරුදන්

අතුරුදන් වී වසර 6ක් ගත වුවත් මැදිරිගිරියෙන් සොයා ගත් දඹ රන් පිළිම තුන සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනිමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මෙතෙක් හැකිවී නැහැ.
පුරාවිද්‍යා වටිනාකමකින් යුත් මෙම පිළිම තුන 2012 වසරේදී හමුවුයේ මැදිරිගිරිය යාය 7 ප්‍රදේශයේ පදිංචි එච්.ටී. තිලකරත්න නැමැති ගොවි මහතෙකුට අයත් කුඹුරක තිබියදීයි.
පසුව ඒ සම්බන්ධයෙන් දැනුම් දීමෙන් පසු මැදිරිගිරිය පුරාවිද්‍යා කලාප කාර්යාලයේ නිළධාරියෙකු පැමිණ අත්සනක් යොදා එම පිළිම ලබා ගෙන ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාරදිමේ පොරොන්දුය මතයි.
කෙසේ වෙතත් වසරක් ගතවු පසු මෙම දඹ රන් පිළිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දී නොමැති බවට අදාළ ගොවි මහතා කළ සොයා බැලිමකදී තහවුරු වී තිබෙනවා.
අනතුරුව, එම පිළිම ලබා ගත් පුරාවිද්‍යා ගවේෂණ නිළධාරියා ගෙන් අදාළ ගොවි මහතා යළි විමසා ඇති අතර, එය අස්ථාන ගත වු බවටයි එම නිළධාරියා සඳහන් කර ඇත්තේ.
පසුව ගවේෂණ නිළධාරියා පුරා වස්තු ආරක්ෂක විශේෂ පොලිස් ඒකකය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.
එහිදී හෙළි වී ඇත්තේ අදාළ පැමිණිල්ල සාවද්‍ය එකක් බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ගත් පියවර පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය මැදිරිගිරිය පුරාවිද්‍යා කලාප කාර්යාලයෙන් කරුණු විමසූ අතර, එහි උසස් නිළධාරියෙකු කියා සිටියේ පොලිස් විමර්ශණ වාර්තාව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මේ වනවිට භාරදී ඇති නමුත්, මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.
අදාළ දඹරන් පිලිම භාරයට ගත් පුරාවිද්‍යා නිලධාරිවරයා ඒවා අලෙවි කර ඇති බවට සැකකරන බවයි මැදිරිගිරිය පුරාවස්තු ආරක්ෂක විශේෂ පොලිස් ඒකකයේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.