Gossips

මැතිසබය යළි කැදවීමට එරෙහි පෙත්සමත්, 4 වන දා කැදවයි

විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව යළි කැඳවීමට කථානායකවරයා ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර ගොනු කළ පෙත්සම ලබන 4 වන දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.
ඒ, අගවිනිසුරු නලින් පෙරේරා සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අද සලකා බැලූණු අවස්ථාවේදියි.
පෙත්සමෙන් කථානායකවරයා, නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
දේශපාලන පක්ෂ සහ සංවිධාන කිහිපයක් ඉදිරිපත් කර තිබූ පෙත්සම් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා නියෝග කළේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමටයි.
එම නියෝගය නිකුත් කිරීමෙන් පසු විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි රැස් කිරීමට කථානායකවරයා පියවර ගත් අතර, එය ව්‍යවස්ථාවට පටහැනි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර සිය පෙත්සමෙන් දක්වා තිබෙනවා.
මෙමගින් කථානායකවරයා ඇතුළු වගඋත්තරකරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, නැවත පාර්ලිමේන්තුව රැස් කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙසත් ඔහු සිය පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.
ඒ අනුව කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම ද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගට ගන්නා දෙසැම්බර් මස 4, 5 සහ 6 යන දිනවලදී සලකා බැලීමට තීරණය කළා.