Gossips

මැතිව්ස් සහ කුසල්ගේ ප්‍රතිප්‍රහාරයට සොබාදහම හරස් වෙයි – තරඟය ජය පැරදුමෙන් තොරව අවසන්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව අද (19) අවසන් වුණා.
තරඟයේ පස්වන සහ අවසන් දිනය වූ අද දිනයේදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව කඩුලු තුනක් දැවී ලකුණු 287ක් රැස්කරගෙන සිටියා.
නොදැවී කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 141ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 120ක් ලබාගෙන සිටියා.
ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළ ලකුණු 282ට පිළිතුරු වශයෙන් නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 578ක් රැස් කළා.
ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 296ක් පිටුපසින් සිටිමින් දෙවනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 03 ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගන්නට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.
සිව්වන කඩුල්ලට පිටියට එක්වූ කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් නවසීලන්ත පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් ශ්‍රී ලංකා දෙවන ඉනිම ගොඩ නැඟුවා.
තරඟයේ සිව්වන දිනය වූ ඊයේ දිනයේදී ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වසර 10 පැරණි වාර්තාවක් අලුත් කරන්නට මෙම පිතිකරුවන් දෙදෙනා සමත් වුනේ ටෙස්ට් තරඟයක එක් දිනක් තුළ පිතිකරුවන් දෙදෙනෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින්.
වෙලින්ටන් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟයේ දී නවසීලන්ත පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 264ක් රැස් කළ ටොම් ලේතම් තරඟයේ වීරයා සම්මානය දිනා හිමිකර ගත්තා.
මේ අතර මෙම තරඟයේදී ක්‍රීඩක ආචාර ධර්ම කඩ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට තරඟ මුදලින් සියයට 15 ක දඩයක් ද පනවනු ලැබුවා.