Gossips

මැතිවරණ කොමිසම ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුරෙන් ඉවත් කරයි – මන්ත්‍රී ධුරයත් අහිමිවෙයි

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ.අමිල් සභාපති තනතුරෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.
එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ ඔහු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට වරදකරු වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
එසේම, ඊට අදාළ ලිපිය ඊයේ ඔහු වෙත යොමුකළ බව එම ප්‍රකාශකයා සදහන් කළා.
අදාළ ලිපියේ දැක්වෙන්නේ එම සිද්ධියට අදාළ නඩුවේ තීන්දුවට අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 262 අධිකාරයේ නමය එක, ක වගන්තිය ප්‍රකාරව ඔහු පළාත් පාලන ආයතනයක සභික ධුරයක් දැරීමට නුසුදුසු වන බවයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 9 වන වගන්තියේ සභිකත්වය ලැබීමට නුසුදුසුකම් සදහන් වන අතර එහි එකේ ක උප වගන්තියේ දැක්වෙන්නේ අපරාධ වැළැක්වීමේ ආඥා පනතේ දක්වා ඇති යම් අපරාධයකට වරදකරු වී මාස 3 ක් හෝ ඊට වැඩි කාලයක් දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාර ගත වී සිටීම මෙන්ම, එහි කොටසක් විඳිමින් සිටීම එවැනි තනතුරක් දැරීමට නුසුදුසු වන බවයි.
එසේම, දණ්ඩන නියමයක් සම්පූර්ණයෙන්ම හෝ එහි කොටසක් විදිමින් හෝ ඊට පෙර පස් අවුරුදු කාලසීමාවක් තුළ දඩුවම් විද අවසන් කර සිටියහොත් එවැනි අවස්ථාවකද පළාත් පාලන ආයතන සභිකයෙකුගේ ආසනය හෝ ධුරය හිස්විය යුතු බව අදාළ පනතේ දැක්වෙනවා.
පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට චෝදනා එල්ල වී සිටි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල්ට මාස 3 ක සිරදඩුවමක් නියම වුණේ පසුගිය වසරේ ජුලි මාසයේදීයි.
ඇඹිලිපිටිය – දඩුහැතැක්ම ප්‍රදේශයේ රාජකාරි කටයුතුවල නිරතවී සිටි පනාමුරේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදී තිබුණේ 2013 වසරේ මැයි මස 27 වැනිදායි.
මෙම තත්ත්වය පිළිබදව අප අධි නීතිඥ ගෝමින් දයාශ්‍රී ගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ මැතිවරණ කොමිසම ගත් පියවර සම්බන්ධයෙන් අධිකරණයෙන් රීට් ආඥාවක් ලබා ගැනීමේ හැකියාව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පවතින බවයි.