Gossips

මැතිවරණ කොමිසමේ සභාපතිගේ ප්‍රකාශය ගැන විවිධ අදහස්

නොවැම්බර් 10 වනදාට පෙර පළාත් සභා ඡන්දය පැවැත්වීමට කටයුතු නොකළහොත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බවට මහින්ද දේශප්‍රිය ඊයේ (28) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ, විපක්ෂ මත පළ වනවා.
ඇතැමුන් ඡන්ද පැවැත්වීමට බල කරමින් ප්‍රශ්න නිර්මාණය කරමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර කියා සිටියේ.
කෑගල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2020 පෙබරවාරි මාසයේදී බවයි.
ඊට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර කියා සිටියා.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ මෙම ප්‍රකාශය දැඩි අවදානයට යොමු විය යුත්තක් බවයි.
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය මුහුණ දී ඇති අසීරුතාව මෙම ප්‍රකාශය තුළින් මනාව පිළිඹිබු කරන බව ද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පැවසුවා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියට ඉල්ලා අස්වීම සඳහා නොවැම්බර් මාසය දක්වා බලා සිටීමට අවශ්‍ය නොවන බවයි.
ඒ තරමටම මැතිවරණ පැවැත්වීම ප්‍රමාද වී ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටියා.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත කියා සිටියේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම මීට පෙර සිදුවිය යුතුව තිබූ බවයි.