Gossips

මැතිවරණ කොමිසමෙන් අගමැතිට ලිපියක්

පළාත් සභා මැතිවරණ සීමානිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයාට භාරදෙන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසන් සභාව අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.
මැතිවරණ කොමිසම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ එම වාර්තාව ජනාධිපතිවරයා ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති බාධා ඉවත්ව යන බවයි.
නව මැතිවරණ ක්‍රමයක් යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව සීමානිර්ණ වාර්තා සකස් කිරීම සඳහා අචාර්ය කේ.තවලිංගම්ගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත් කෙරුණා.
2018 වසරේ මාර්තු 08 වැනිදා එම කමිටුව සකස් කරන ලද සීමානිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු නමුත්, එය විවාදයට ගැනුණේ එම වසරේ අගෝස්තු මස 24 වැනිදායී.
කෙසේ වෙතත්, මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එවකට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ධූරය දැරූ ෆයිසර් මුස්තාෆාද ඇතුළුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 139 දෙනෙකු එයට විරුද්ධව ඡන්දය ලබාදී පනත පරාජයට පත්කරනු ලැබුවා.
පසුව කතානායක කරූ ජයසූරිය මෙම සීමානිර්ණ වාර්තාවේ දෝෂ නිවැරදි කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත්කරනු ලැබූ අතර, මාස දෙකක් තුළ අදාළ වාර්තාව ජනාධිපතිවරයාට භාරදිය යුතුව තිබුණා.
එහෙත් මේ වනතෙක් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත යොමුකර නැහැ.
මැතිවරණ කොමිසම පළාත් සභා සීමානිර්ණ සමාලෝචන වාර්තාව පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමුකර තිබුණේ මෙවන් පසුබිමක් තුළයි.
මේ අතර, මැතිවරණ කොමිසම ලිපියක් පසුගියදා යොමුකරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය පදනම කුමක්දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා බලන ලෙසයි.
මේ වනවිට පළාත් සභා 07ක කාලය අවසන්ව ඇති අතර, ඒවා ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ පවතිනවා.
2017 වසරේදී නැගෙනහිර, උතුරු මැද, සබරගමුව යන පළාත් සභා තුනෙහි නිල කාලය අවසන් වූ අතර වයඹ, මධ්‍යම සහ උතුර යන පළාත් සභාවල නිල කාලය අවසන් වුණේ 2018 වසරේදීයි.
පසුගිය අප්‍රේල් 10 වැනිදා දකුණු පළාත් සභාවේ නිල කාලය අවසන් වූ අතර, බස්නාහිර පළෘත් සභාවේ නිල කාලය ලබන අප්‍රේල් 21 වැනිදායින් අවසන් වීමට නියමිතයි.
මීට අමතරව මේ වසරේ ඔක්තෝම්බර් 08 වැනිදා ඌව පළාත් සභාවේ නිල කාලය අවසන් වනවා.
මේ අතර, මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම පිළිබඳව කතානායකවරයාට ලිපියක් යොමුකර තිබූ අතර, ඒ පිළිබඳව අයවැය තුන්වන වර ඡන්ද විමසීම පැවති පසුගිය 05 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වුණා.