Gossips

මාළිගාවත්තේ වෙඩි තැබීම ඩුබායි සිට මෙහෙයවූ බවට තොරතුරු

මාලිගාවත්ත – ලක්සෙත සෙවන මහල් නිවාස අසළදී ඊයේ රාත්‍රියේ තරුණයෙකුට වෙඩි තැබීම ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ඉම්රාන් නැමති පාතාල සාමාජිකයාගේ මෙහෙයුම මත සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඉම්රාන් නැමැත්තා මෙම පාතාල කල්ලි සාමාජිකයා දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින පාතාල නායක මධුෂ්ගේ ගෝලයෙකු බවයි.
ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 23 හැවිරිදි තරුණයා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
ඔහුගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
තුවාල ලැබූ පුද්ගලයාද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අයෙකු බවට අනාවරණ වී තිබෙනවා. පසුගිය දින කිහිපයේම මාළිගාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධි වාර්තා වූ අතර එම සිද්ධීන්වල දිගුවක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.
මියගිය පාතාල කල්ලි නායකයෙකු වන කාදර් මොහොමඞ් අස්මිල් හෙවත් මාමස්මිගේ සොහොයුරෙකුටද පසුගිය මස 30 වැනිදා මාලිගාවත්ත – ජුම්මාහන්දිය අසලදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා තුවාල සිදු කර තිබුණා.
එමෙන්ම, මාළිගාවත්ත – ජුම්මා හන්දිය – ලොන්ඩි‍්‍රය අසළ මාර්ගයේදී පසුගිය මස 27 වැනිදා යතුරපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් 31 හැවිරිදි මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ද ජීවිතක්ෂයට පත්වුණා.
මේ අතර රක්වාන – උතුරු පනාපිටිය – කහවත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිය නිවස අසල විදුලි පන්දමක් දැල්වෙන ආකාරය දැක ඒ පිළිබඳව විපරම් කිරීමට නිවසේ දොර විවෘත කර විනාඩි කිහිපයක් තුල මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙක්.