Gossips

මාළිගාවත්තේ මියගිය දෙහැවිරිදි දරුවා සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක්

රුධිරගත සීනි ප්‍රමාණය වැඩිවී මියගිය බවට අඟවා අවසන් කටයුතු සිදුකිරීමට යාමේදී පොලීසිය එය වළක්වා මරණයේ අභිරහස සොයාගත් මාළිගාවත්තේ දෙහැවිරිදි දරුවා සම්බන්ධයෙන් මේ වනවිට කරුණු රැසක් අනාවරණ වී තිබෙනවා.
වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවුණේ දරුවාගේ නියම මව සහ පියා දැනට විදේශගතව සිටින බවයි.
එසේම මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දරුවාගේ මව සහ පියා බවට හැඟවූ මාළිගාවත්ත මහල් නිවාසයේ පදිංචි යුවළ මේ මස 24 වනදා දක්වා ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මියගිය දරුවාගේ අවසන් කටයුතු සිදුකිරීම අධිකරණ නියෝගයක් හරහා පොලීසිය වළක්වනු ලැබුවේ දරුවාගේ සිරුරේ තිබූ තුවාලයක් පිළිබඳ සැක සිතමින්.
ඒ අනුව මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කෙරුණා.
එහිදී හෙළිවුණේ බහුවිධ මොට තුවාල නිසා මෙම දෙහැවිරිදි පිරිමි දරුවා මියගොස් ඇති බවයි. විවිධ කාලවකවානු තුළ එම තුවාල සිදුව ඇති බවටත්, ඒවා සාහසික ක්‍රියාවන් බවටත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වුණා.
ඒ අනුව දරුවාගේ මව සහ පියා ලෙස ප්‍රකාශ කළ යුවළ අත්අඩංගුවට ගත් අතර පසුව හෙළිවුණේ සැකකාරිය මීට පෙර විවාහ දෙකක් සිදුකරගෙන ඇති බවයි. ඇයට වයස අවුරුදු 10 ක සහ අවුරුදු 6 ක දැරියන් දෙදෙනෙකුද සිටිනවා.
එසේම මියගිය පිරිමි දරුවා ඇයගේ නොවන බවත්, තොටළඟ ප්‍රදේශයේ කුලී නිවසක ජීවත්වෙමින් සිටියදී අසල්වැසි යුවළකට දාව දරුවා බිහිවී ඇති බවත් පොලීසිය අනාවරණ කරගත්තා.
ඔවුන් කිසිදු නීත්‍යානුකූල ක්‍රියා පටිපාටියකින් තොරව දරුවා භාරගෙන ඇති අතර, මෙම දරුවාට උප්පැන්න සහතිකයක් පවා සකස් කර නොමැති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
තම සැමියා දියණියන් දෙදෙනාට වඩා පිරිමි දරුවාට ආදරය කළ බැවින් එය දරාගැනීමට නොහැකිව විටින් විට දරුවාට පහරදුන් බවයි 29 හැවිරිදි සැකකාර කාන්තාව පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ.
ඇය සමඟ අත්අඩංගුවට ගත් සැමියාගේ වයස අවුරුදු 39 ක්.