Gossips

මාස 10 කදී දුම්රියේ ගැටී වනඅලි 10 ක් මරුට

මේ වසරේ ගත වු මාස 10 තුළ දුම්රියේ ගැටී වනඅලි 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය වසරේ ද දුම්රියේ ගැටී වනඅලි 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඊයේ (09) රාත්‍රියේ ද වැලිකන්ද සහ පූනෑව අතරතුරදී දුම්රියක ගැටී වන අලියෙකු ජීවිතක්ෂයට පත්වුණා.
එමෙන්ම, හබරණ සහ පළුගස්වැව අතර මාර්ගයේදී ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටී වනඅලීන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූයේ පසුගිය මස 18 වනදායි.
පසුගිය 6 වනදා රාත්‍රියේ ද පොළොන්නරුව – වැලිකන්ද – නාමල්ගමදී වන අලි තුන්දෙනෙකු දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වුණා.
වනජිවි නිලධාරින් චෝදනා කළේ වනඅලි ගැවසෙන ප්‍රදේශවලදී දුම්රිය වේග සීමා නොතකා ධාවනය කිරීමෙන් මෙම අනතුරු සිදුවන බවටයි.
හබරණ – හිඟුරක්ගොඩ සහ පොළොන්නරුව – වැලිකන්ද අතර මෙම අනතුරු බහුල වශයෙන් සිදුවන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
එම ප්‍රදේශවලදී දුම්රිය වේග සීමාව පැයට කිලෝමීටර් 40 ලෙස මාර්ගයේ සලකුණු කර තිබුණ ද වේග සීමා පාලනය නිසි ලෙස සිදු නොවන බවද ඔවුන් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ සදහන් කළේ වේගයෙන් ධාවනය වන දුම්රියක එකවර වේගය පාලනය කිරීමේ හැකියාවක් නොමැති බවයි.
අලි ගැවසෙන ස්ථාන පිළිබදව පෙර දැනුම්දීමක් සිදුකරනවා නම් එම අනතුරු අවම කර ගත හැකි බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.