Gossips

මාස එක හමාරක දී, පළාත් පාලන මන්ත්‍රීවරු තුන්දෙනෙක්, වෙඩි තබා ඝාතනය කෙරේ

මාස එක හමාරක කාලයක් තුළ පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
ඊට ආසන්නතම සිදුවීම ලෙස ඊයේ (09) වාර්තා වූයේ කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී, ජනතා පෙරමුණ සංවිධානයේ නායක කිරුබානන්දන් ක්‍රිෂ්ණාපිල්ලේ හෙවත් ක්‍රිෂ්ණා වෙඩි තබා ඝාතනය කිරීමයි.
පිටකොටුව – අදිවාල් වීථියේ පිහිටි නාගරික මන්ත්‍රීවරයාට අයත් වෙළඳසැලේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් ඔහුට වෙඩි තබා පලාගොස් තිබුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔහු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු දෙකකට ඇප මත මුදා හැර සිටි පුද්ගලයෙකු බවයි.
මීට අමතරව, කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් පසුගිය ජුනි මස 08 වන දා වෙඩි තබා ඝාතනය කෙරුණා.
එම ඝාතනයේ ප්‍රධාන සැකකරු පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කහව – වේරගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීයි.
මෙම සැකකරු විදෙස් ගතව සිටින පාතාල නායක කොස්ගොඩ සුජීගේ ගෝලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.
පසුගිය ජුනි මස 08 වනදා රාත්‍රියේ ඌරගස්මංහන්දිය – කොරකීන ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගි වී පැමිණෙමින් සිටියදී කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයා මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක් වුණා.
එමෙන්ම පසුගිය මැයි මස 24 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා ද වෙඩි තබා ඝාතනයට ලක්වූයේ සිය නිවස ඉදිරිපිට රැදී සිටියදියි.