පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවේ සිටි බිරිඳ රැගෙන පළා ගිය සැමියෙකු පිළිබදව පුවතක් මාවනැල්ල – රන්දිවෙල ප්රදේශයෙන් වාර්තා වනවා.
ඊයේ පස්වරුවේ නාරම්බැද්ද – පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් රන්දිවෙල ප්රදේශයට ගොස් ඇත්තේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමටයි.
එහිදී මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ තොගයක් ද සමගින් නිවසක පිටුපස සැඟව සිටි 30 හැවිරිදි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කාන්තා නිලධාරිනියක් සැකකාරිය පරීක්ෂා කරන අවස්ථාවේදී ඇය පිටත සිටි පුද්ගලයෙකුට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති බව සඳහන්.
ඉන් මිනිත්තු කිහිපයකට පසු වේගයෙන් පැමිණි යතුරුපැදියක් සැකකාරිය ආසන්නයේ සිටි පොලිස් විශේෂ කාර්ය බලකා කොස්තාපල්වරයෙකුගේ සිරුරේ ගැටී තිබෙනවා.
ඉන් කොස්තාපල්වරයා තුවාල ලබා ඇති අතර, සෙසු නිලධාරීන් ඔහු පරීක්ෂා කරන අවස්ථාවේ යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයා සැකකාර කාන්තාව ද කැටුව අසළ තිබූ ත්රිරෝද රථයකින් පළා ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
පළා ගිය 42 හැවිරිදි පුද්ගලයා මාවනැල්ලට නුදුරු ප්රදේශයක සැගව සිටියදී පසුව අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාර කාන්තාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙලෙස පළා ගොස් ඇත්තේ අඹු – සැමියන් බවයි.
තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ප්රතිකාර සඳහා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔහුගේ සිරුරේ ගැටුණු යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.
අප කළ විමසීමකදී පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සදහන් කළේ පළා ගොස් අතුරුදන්ව සිටින සැකකාරිය කෑගල්ල – මාවනැල්ල ඇතුළු ප්රදේශ ගණනාවකට නීතිවිරෝධී මත්පැන් බෙදා හැරීමේ ජාවාරමක කලක සිට නිරතව සිටි බවටයි.