Gossips

මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලංකා භට පිරිසකට ප්‍රහාරයක් – කපිතාන්වරයෙකු සහ සෙබලෙකු මියගොස් තුන්දෙනෙකුට තුවාල

අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරත ශ්‍රී ලංකා භට කණ්ඩායමක් ඉලක්ක කර සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් කපිතාන්වරයෙකු සහ සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්‍රහාරයෙන් තවත් ශ්‍රී ලාංකික සෙබළුන් තුන්දෙනෙකු තුවාල ලබා ඇති බවයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
දුරස්ථ පාලකයක් මගින් ක්‍රියා කරන බෝම්බයක් පුපුරුවා හැර මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ශ්‍රී ලංකා භට කණ්ඩායම ගමන් කළ සංග්‍රාමික රථයක් ඉලක්ක කර ගෙනයි.
මාලි රාජ්‍යයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් මූලස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ද යුද හමුදාව කියා සිටියා.
මෙම බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ කපිතාන්වරයා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි එච්.ඩබ්ලිව්. ජයවික්‍රම නමැත්තෙක්.
ඔහු 11 වන පාබල රෙජිමේන්තුව යටතේ සේවය කළ අයෙකු බව ද යුද හමුදාව ප්‍රකාශ කළා.
ජීවිතක්ෂයට පත්වූ සෙසු කෝප්‍රල්වරයා කුරුණෑගල – පොල්පිතිගම පදිංචි එස්.එච්. විජේවිකුමාර යි.
ඔහු පළමු යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ අයෙක්.
ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ කෝප්‍රල්වරුන් දෙදෙනෙකු සහ ලාන්ස් කෝප්‍රල්වරයෙකුයි.
ඒ අනුව, පන්විලතැන්න ප්‍රදේශයේ පදිංචි එන්.ජේ.එස්. කුමාරසිංහ, කනත්තොට ප්‍රදේශයේ පදිංචි කේ.සී. පුෂ්පකුමාර සහ මහව ප්‍රදේශයේ පදිංචි සී.එච්.එම්.එස් චන්ද්‍රසේකර එම පිරිස අතරට අයත් වනවා.
ඔවුන් සියලූ දෙනාම යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ අය බවයි යුද හමුදාව වැඩිදුරටත් සදහන් කළේ.