Gossips

මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරත ශ්‍රී ලංකා භට පිරිසකට ප්‍රහාරයක් – දෙදෙනෙකු මරුට – තුන්දෙනෙකුට තුවාල

අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරත ශ්‍රී ලංකා භට කණ්ඩායමක් ඉලක්ක කර සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් කපිතාන්වරයෙකු සහ සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්‍රහාරයෙන් තවත් ශ්‍රී ලාංකික සෙබළුන් තුන්දෙනෙකු තුවාල ලබා ඇති බවයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
දුරස්ථ පාලකයක් මගින් ක්‍රියා කරන බෝම්බයක් පුපුරුවා හැර මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ශ්‍රී ලංකා භට කණ්ඩායම ගමන් කළ මුර සංචාර රථය ඉලක්ක කර ගෙනයි.
මාලි රාජ්‍යයේ වේලාවෙන් අද උදෑසන 6.30 ට පමණ මෙම ප්‍රහාරය එල්ලවී තිබෙනවා.
මෙහෙයුමක් අවසන් වී යළිත් පැමිණෙමින් සිටි භට පිරිසක් බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය වී ඇතැයි ද සඳහන්.
තුවාල ලැබූ ශ්‍රී ලාංකික සෙබලුන් තුන්දෙනෙකු ඇතුලු පිරිස රෝහල් ගතකර තිබෙනවා.
මෙම සෙබලුන් රැගෙන ගිය වාහනයට සහ එය පිටුපසින් පැමිණි තවත් වාහනයකට ද ප්‍රහාරයෙන් හානිවී ඇතැයි සඳහන්.
මාලි රාජ්‍යයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් මූලස්ථානය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ද යුද හමුදාව කියා සිටියා.