Gossips

මාලි රාජ්‍යයේ ශ්‍රී ලංකා සාම සාධක අණ දෙන නිලධාරියා, ඉවත් කර ගන්නැයි දැනුම් දීමක්

අප්‍රිකානු මාලි රාජ්‍යයේ ජගත් සංවිධාන සාම සාධක මෙහෙවරේ නිරත ශ්‍රී ලංකා භට කණ්ඩායමේ අණ දෙන නිලධාරියා නැවත කැදවන ලෙස ජගත් සංවිධානය ලක් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඔහුගේ මානව හිමිකම් පසුබිම ඇගයීමට ලක් කර එම තීරණයට එළඹුණු බවයි නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී මහලේකම්වරයාගේ ප්‍රකාශක, ස්ටීවන් ඩුජාරික් ප්‍රකාශ කළේ.
මෑතකදී ලද තොරතුරුවලට අනුව එම තීරණයට එළඹුණු බවත් ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සමඟ ඒ පිළිබඳ වැඩිදුරටත් කටයුතු කරන බවත්, ඔහු කියා සිටියා.
ජගත් සංවිධානය වෙත මෙරට හමුදා පිළිබද අදාළ වාර්තාව ලබාදී ඇත්තේ දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කර ගත් ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය නම් සංවිධානය විසින්.
මෙරට යුද්ධය පිළිබඳ ශ්‍රී ලංකාවට අවාසිසහගත වාර්තා ඉදිරිපත් කර ඇති යස්මින් සූකා එහි මූලිකත්වය ගෙන කටයුතු කරන තැනැත්තියක්.
එමගින් ජගත් සංවිධානය වෙත යොමු කර ඇති රහස්‍ය වාර්තාවක් මගින් මෙරට ආරක්ෂක අංශ සාමාජිකයන් 50 දෙනෙකු පමණ යුද අපරාධවලට සම්බන්ධ බවට චෝදනා කර ඇති බවයි ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති සේවාව සඳහන් කළේ.
මේ නිසා ඔවුන් ජගත් සංවිධාන සාම සාධක මෙහෙයුම්වලින් ඉවත් කරන ලෙස එම ව්‍යාපෘතිය ජගත් සංවිධානයෙන් ඉල්ලා තිබෙනවා.
කෙසේ නමුත්, ඊයේ පැවති මාධ්‍ය හමුවේදී මාලි රාජ්‍යයේ ශ්‍රී ලංකා සාම සාධක භට පිරිසේ අණ දෙන නිලධාරී ලූතිනන් කර්නල් කළණ අමුණුපුර සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබදව ජගත් මහලේකම්වරයාගේ ප්‍රකාශකයා අදහස් දැක්වීමෙන් වැළකී සිටියා.
තමන්ට ලද තොරතුරු අනුව ඔහු සාම සාධක භට ඛණ්ඩයෙන් ඉවත් කිරීමේ තීරණයට එළඹුණු බවත්, ඒ සඳහා වෙනත් නිලධාරියෙකු යෙදවීමේ වගකීම ශ්‍රී ලංකාවට පැවරෙන බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ පිළිබදව අප කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළේ ජගත් සංවිධානයේ ඉල්ලීමට ගරු කිරීමක් ලෙස අදාළ නිලධාරියා ඉවත් කර ගැනීමට පියවර ගැනෙන බවයි.
එහෙත් මෙරට ආරක්ෂක හමුදා යුද අපරාධවලට සම්බන්ධ නොවූ බවත්, එම නිලධාරියා නිර්දෝෂීබව ඔප්පු කොට යලි ජගත් සංවිධාන සාම සාධක මෙහෙවර සඳහා යොමු කිරීමට කටයුතු කරන බවත්, ඔහු අවධාරණය කළා.