Gossips

මාලි රාජ්‍යයේදී මිය ගිය යුද හමුදා නිලධාරීන් දෙදෙනාට ඩොලර් 80,000ක්

අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදා නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 80,000කට ආසන්න වන්දියක් හිමි වනු ඇති බව යුද හමුදා ආරංචි මාර්ග පවසනවා.
එ මෙන්ම ත්‍රස්ත ප්‍රහාරයේදී තුවාල ලැබූ අනෙකුත් හමුදා සාමාජිකයින් තුන්දෙනා වෙනුවෙන් ද වන්දි ලබාදීමට ජගත් සංවිධානය පියවර ගනු ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.
කිසියම් රටක ආරක්ෂක අංශ නිලධාරීන්, ජගත් සාම සාධක හමුදා කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කරන අතරතුර ත්‍රස්ත ක්‍රියාවලින් මිය ගියහොත් හෝ තුවාල ලැබීමක් සිදුවුවහොත් ඔවුන් වෙනුවෙන් වන්දි පිරිනැමීම සාමාන්‍ය ක්‍රමවේදයයි.
ඒ අනුව මාලි රාජ්‍යයේදී මිය ගිය ශ්‍රී ලාංකික හමුදා කපිතාන් එච්.ඩබ්ලිව්.ඩී. ජයවික්‍රම සහ කෝප්‍රල් එස්.එස්. විජයකුමාරට ද මෙලෙස වන්දි හිමි වීමට නියමිතයි.
ජගත් සාම සාධක හමුදාවල රාජකාරියේ නිරත ශ්‍රී ලාංකික භට පිරිසක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ පසුගිය 25 වනදායි.
ශ්‍රී ලංකා භට කණ්ඩායමක් ගමන් කළ සංග්‍රාමික රථයක් ඉලක්ක කරගෙනයි දුරස්ථ පාලකයක් මගින් ක්‍රියා කරන බෝම්බයක් පුපුරුවා හැර තිබුණේ.
අල්ඛයිඩා සංවිධානයට සම්බන්ධ ත්‍රස්ත කල්ලියක් එල්ල කළ මෙම ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් විසින් ද හෙළා දකිනු ලැබුවා.