Gossips

මාලිගාවත්තේදී දුන් කිරි පැකට් ගැන සැකයක්

ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ විරෝධතාව අතරතුර කිසියම් පිරිසක් තමන්ට ලබාදුන් කිරි පැකට් සම්බන්ධයෙන් සැකයක් මතුවන බවට විරෝධතාවට එක්වූ පිරිසක් චෝදනා කරනවා.
එම කිරි පැකට් පානය කිරීමෙන් පසු හටගත් අසාත්මිකතාවක් හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු ඊයේ රාත්‍රියේ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, මේ වනවිට ඔවුන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
මීට අමතරව කිරි පැකට් පානය කළ තවත් පුද්ගලයින් විසිදෙනෙකු පමණ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගත් බවද සඳහන්.
එසේම විරෝධතාවට සහභාගි වී සිටියදී හෘදයාබාධයක් වැලදී මියගිය හැටන් – කුඩාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.
මේ වනවිට ඔහුගේ මෘතදේහය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා.
39 හැවිරිදි තිදරු පියෙකු වන මොහු වෘත්තියෙන් පෞද්ගලික බස් රථයක රිය සහයකවරයෙක්.
මොහු සිය මිතුරන් සමඟ මාළිගාවත්ත ප්‍රදේශයෙන් විරෝධතා පෙළපාලියට එක්ව තිබෙනවා.
මේ අතර ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ විරෝධතාවයට සහභාගි වූ පිරිස් කොළඹ නගරයේ දමාගොස් තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුවන බව කොළඹ මහ නගර සභාව පවසනවා.
කොළඹ නාගරික කොමසාරිස් වී.කේ. අනුර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ සඳහා අමතර සේවකයින් ද යොදවා ඇති බවයි.