Gossips

මාලිංග ජාත්‍යන්තර පිටියට සමුදෙයි ?

තවදුරටත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරග වැදීමට අපේක්ෂාවක් නොමැති බව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.
ක්‍රිකට් ක්‍රීඩා කිරීම තුලින් මේවන විට සෑහීමකට පත්ව ඇති බවයි මාලිංග විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශකර ඇත්තේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයෙකු වශයෙන් පත් කර ගැනීමෙන් පසුව මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීම පිළිබඳ ඉගි පළකර තිබෙනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ද වැදගත් තනතුරක් හිමිවීම තුලින් තම ක්‍රිකට් දිවිය පිළිබඳ දැන් සෑහීමකට පත්විය තත්වයකට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සුපිරි පන්දු යවන්නා සඳහන් කළේ.
මෙම තත්වය මත ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශාම ගැනීම පිළිබඳ නුදුරේදීම ප්‍රකාශයට පත්කරන බව ඔහු හෙළිකර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් සමග සාකච්ඡා කර නැතැයි ද ඔහු සඳහන් කළා.
එමෙන්ම යළිත් වරක් පළමුපෙල තරගවලට ක්‍රීඩා කර යෝග්‍යතාව පිළිබඳ අදහසක් ලබාගැනීමට පියවර ගන්නා බවයි ලසිත් මාලිංග කියාසිටියේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ද ක්‍රීඩා කර අවසන් කර ඇති අතර එම තරගාවලියේ නව පියවරක් ඉදිරියට තැබු බව ඔහු පෙන්වා දී තිබෙනවා.
සෑම ක්‍රීඩකයෙකුටම තමාගේ තරග දිවියේ අවසානයක් පවතින අතර එය වසීම් අක්‍රම්ට ද පැවති බවයි මාලිංග කියාසිටියේ.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරගාවලියට තමා තෝරා නොගැනීම පිළිබඳ පුදුමයට පත් නොවන අතර එම කණ්ඩායම සමග වසර 10 ක් පුරා දක්ෂතා දැක්වු බව ද ඔහු ප්‍රකාශ කළා.
එමගින් අත්දැකීම් රැසක් ලැබුනු බවයි මාලිංග අවධාරණය කළේ.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් බලධාරීන් වෙන්දේසියට පෙර තමා ඇමතු බව ද ඔහු හෙළි කළා.
ඉදිරි වසර 3 ක් සඳහා හොඳ කණ්ඩායමක් තෝරා ගැනීමේ ඔවුන්ගේ අරමුණ පිළිබඳව ද එහිදී බලධාරීන් තමා දැනුවත් කළ බවයි මාලිංග කියාසිටියේ.
ඔවුන්ගේ තීරණය මෙන්ම තම තරගකාරී ක්‍රිකට් දිවිය පිළිබඳ අවබෝධයක් ලබාගෙන සිටින බව ද මාලිංග පෙන්වා දුන්නා.
සුපිරි පන්දු යවන්නා මෙහිදී කියාසිටියේ තමා ක්‍රිකට් උපදේශකයෙකු ලෙසට ජීවිතයේ නව පරිච්ඡේදයක් ගොඩනගා ගැනීමට අවදානය යොමුකර ඇති බවයි.
වයස අවුරුදු 34 ක් වන තමා තවදුරටත් තරුණ නොවන අතර වෙනසක් කිරීමට මෙය හොඳම කාලය බවයි මාලිංග විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශකර ඇත්තේ.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යවන උපදේශක තනතුරක් ලැබීම තුලින් වේග පන්දු යවන්නන්ගේ ඉදිරි පරපුරට මග පෙන්වීමට ලැබීම පිළිබඳ සතුටු වන බව ද ලසිත් මාලිංග කියාසිටියා.
දැනුම බෙදා දෙමින් පුහුණුකරුවෙකු ලෙසට තම වෘත්තිය දිවියට අත්දැකීම් එක්කර ගැනීමට ද ලැබුනු අවස්ථාව යොදා ගන්නා බවයි ඔහු සඳහන් කළේ.