Politics Sri Lanka

මාලදිවයිනේ හදිසි තත්වයක් ප්‍රකාශයට

මාලදිවයිනේ හදිසි තත්වයක් ප්‍රකාශයට

දින 15ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් තීරණය කර තිබේ.

මාලදිවයිනේ දේශපාලන අර්බුදකාරී වාතාවරණය තවත් උග්‍ර අතට පත් කරමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙන අතර රාජ්‍ය සහ ආණ්ඩු විරෝධී ලෙස හැසිරෙන ඕනෑම අයකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට අවස්ථාව හිමිවනු ඇත.

ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මාලදිවයිනේ අර්බුදකාරී දේශපාලන වාතාවරණය උග්‍ර අතට හැරිණි.

ජාත්‍යන්තරයෙන් පීඩනයක් එල්ල වුවද මාලදිවයිනේ ආණ්ඩුව දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ප්‍රතික්ෂේප කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළ මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් දින කිහිපයකට පසු අද (5) දින 15ක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ එම නිවේදනය මාලදිවයිනේ රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

එම නිවේදනයට අමතරව දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි සඳහන් කරමින් දුන් තීන්දුව වෙනස් කරන්නැයි ඉල්ලමින් මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස තීන්දුව ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තිදෙනාට ලිපි යවා ඇතැයි ද වාර්තා වේ.