Gossips

මාලදිවයිනේ සිරගත කළ ශ්‍රී ලාංකික තරුණයා නිදහස් කර ගැනීමට නව උත්සාහයක්

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් 2016 වසරේ සැප්තැම්බරයේ සිට එරට අධි රක්ෂිත බන්ධනාගාරයක රදවා සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන 27 හැවිරිදි ලහිරු මධුශංක මැණික්කඳුර නිදහස් කර ගැනීම සඳහා නව උත්සාහයක් ක්‍රියාත්මක වන බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.
මාලදිවයිනේ නව ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඞ් සොලි දිවුරුම් දීමේ උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ විශේෂ නියෝජිතයෙකු ලෙස අමාත්‍යවරයා සහභාගි වුණා.
එහිදී හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මෙන්ම මාලදිවයින් නීතිපතිවරයා සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ ලහිරු මධුශංක පිළිබදව අමාත්‍යවරයා සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම නීති ආධාර හෝ වෙනත් පහසුකම් නොමැතිව වසර 3ක් බන්ධනාගාරගතව සිටින ලහිරු මධුශංක පසුගිය සති අන්තයේ හමුවීමට අවස්ථාවක් ලැබුණු බව ද අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සඳහන් කළා.
මෙතෙක් චෝදනා ගොනු කර නොමැති ශ්‍රී ලාංකික තරුණයා කඩිනමින් නිදහස් කරනු ඇති බවටයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ.