Gossips

මාලදිවයිනෙන් ඉන්දීය හමුදාවට දැනුම්දීමක්

දැනට පවතින ගිවිසුම අවසන්වීමෙන් පසු සිය රටේ රඳවා ඇති ඉන්දීය හමුදා හෙලිකොප්ටර් යානා සහ සෙබළුන් ඉවත් කරගන්නා ලෙස මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් දැනුම්දී තිබෙනවා.
ඔහුගේ පාලනය යටතේ මාලදිවයින් විපක්ෂය මර්දනයට ලක්වීම ඉන්දියාවේ දැඩි දෝෂදර්ශනයට ලක්වුණා.
එහිදී මාලදිවයින් විපක්ෂය ඉන්දීය හමුදා මැදිහත්වීමක්ද අපේක්ෂා කිරීම ජනාධිපති යමීන්ගේ රජයේ උදහසට ලක්වූ කරුණක්.
එමෙන්ම චීනය මේ වනවිට මාලදිවයිනේ මාර්ග, පාලම්, ගුවන් තොටුපල පුළුල් කිරීම් ආදී දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වී සිටිනවා.
මේ නිසා මාලදිවයින ඉන්දියාවේ ප්‍රතිවාදී චීනයට සමීපවෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
ඉන්දියාව විසින් මාලදිවයිනට හදිසි ආපදාවලදී යොදාගැනීම සඳහා හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් ලබාදී තිබුණා.
ඉන්දියාවේ මාලදිවයින් තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ සිය රට ප්‍රමාණවත් යටිතල පහසුකම් ගොඩනගා ඇති බැවින් එම යානා තවදුරටත් අවශ්‍ය නොවන බවයි.
ඉන්දියාව එම හෙලිකොප්ටර් යානා සමඟ නියමුවන් ඇතුලූ හමුදා සාමාජිකයන් 50 දෙනෙකු මාලදිවයිනේ රඳවා තිබෙනවා.
ඔවුන්ගේ වීසා බලපත් අවසන් වූවත් ඉන්දියාව මෙතෙක් ඔවුන් ඉවත් කරගෙන නැහැ.
මේ අතර 2011 වසරේදී මාලදිවයිනේ තානාපති කාර්යාලයක් විවෘත කළ චීනය, මාලදිවයිනද තම එක් තීරුවක්, එක් මාවතක් වැඩපිළිවෙලට එක්කරගැනීමට කටයුතු කර තිබෙනවා.
චීනය පසුගියදා ප්‍රකාශ කළේ මාලදිවයිනේ අභ්‍යන්තර කටයුතුවලට කිසිවෙකු මැදිහත් නොවිය යුතු බවයි.