Gossips

මාලදිවයින් භාරයේ සිටි ධීවරයින් 21 දෙනෙකු දිවයිනට

මාලදිවයින් රජය භාරයේ සිටි මෙරට ධීවරයින් 21 දෙනෙකු අද (11) රාත්‍රියේ යළි දිවයිනට පැමිණීමට නියමිතයි.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් කළේ ලක්රජය මාලදිවයින සමඟ සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ධීවරයින් යළි ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට තීරණය කර ඇති බවයි.
මෙම පිරිස පසුගිය පෙබරවාරි 28 වනදා මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් එරට ආරක්ෂක අංශ භාරයට ගෙන තිබුණා.
මේ අතර නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 10 දෙනෙකු කාර්තිව් – පෙරියආරච්චල් සහ උච්චමුණිය මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයඹ නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවික හමුදා භට පිරිසක් ඊයේ (10) සැකකටයුතු ලෙස ධීවර කටයුතුවල නිරතවූ ඩිංගි බෝට්ටු 04ක් සහ ඔරු දෙකක් පරීක්ෂා කරනු ලැබුවා.
ඉන් අනතුරුවයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙම පිරිස මීගමුව සහ කල්පිටිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 51 ත් අතර වයස්වල පසුවන්නන්.
එමෙන්ම මසුන් ඇල්ලීම සඳහා යොදාගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගාන්ධිනගර් වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ගල් පතුරක් තුළ සඟවා තිබියදී නාවික හමුදාව ඊයේ සොයාගත්තා.
ජෙලග්නයිට් කූරු 12ක්, විදුලි නොවන ඩෙටනේටර් 8 ක් මෙලෙස සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතරට ඇතුළත්.