Gossips

මාලගමුව ඝාතන තැත ගැන බෙවන් පෙරේරාගෙන් ප්‍රශ්න කෙරේ

තමන් ඝාතනය කිරිමේ සැලැස්ම සම්බන්ධයෙන් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවගේ පැමිණිල්ලකට අනුව එක්සත් ජාතික පක්ෂයේ කැලණිය හිටපු සංවිධායක බෙවන් පෙරේරාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ කැලණිය පොලිස් කොට්ඨාශය විසින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සිදුකර ඇති බවයි.
තමන් ඝාතනය කිරිමට පවතින බව කියන සැලැස්ම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව පසුගිය 15 වැනිදා බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණියා.
ඒ, එහි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සිදුකල කැදවීමකට අනුවයි.
පසුගිය ජුලි මස 07 වනදා තමන්ට එල්ල වී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් ඩිලන්ත මාලගමුව පොලිස් මුලස්ථානයට පැමිණිලි කර තිබුණා.
ඒ පාතාල කල්ලි සමාජිකයකු තමන් ඝාතනය කිරිමට සැලසුම් කර ඇති බවට ලද තොරතුරකට අනුවයි.
මේ අතර පසුගිය ජුනි මස 2 වනදා සිදුවු මාතර රණ් භාණ්ඩ කොල්ලයේදී පාතාල සමාජිකයන් රැගෙන ආ මිනි ඌෂි වර්ගයේ ගිනි අවිය ඩිලන්ත මාලගමුව ඝාතනය කිරිම සදහා භාවිතා කිරිමට ලබාදී තිබු බවට පොලිසියට තොරතුරු වාර්තා වි තිබුණා.
පසුව ඩිලන්ත මාලගමුව ප්‍රකාශ කලේ අදාළ කොන්ත්‍රාත්තුව එක්සත් ජාතික පක්ෂයේ කැළණිය හිටපු සංවිධායක ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ බෙවන් පෙරේරා ලබා දි ඇති බවටයි.
තමන්ට අයත් නාවලපිටියේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් ඇති වු ගැටළුවක් මත මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවද ඔහු සදහන් කළා.