Gossips

මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසි වාරය ඇරඹේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසි වාරය ඊයේ (26) ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර දී ආරම්භ වුණා.
මෙවර සැසි වාරයේදී ශ්‍රී ලංකාව ඇතුළු සාමාජික රටවල් 47ක මානව හිමිකම් තත්ත්වය පිළිබදව ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීමට නියමිතයි.
මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කුමරු විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරනු ලබන්නේ ලබන මාර්තු 21 වන දායි.
ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවේ මූලික ඉදිරිපත් කිරීම මේ වන විටත්, ජිනිවා මානව හිමිකම් මණ්ඩලය වෙත ගොනු කර අවසන්.
ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සොයා බලන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු එමගින් ජගත් මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලීමක් කළා.
කෙසේ නමුත්, ශ්‍රී ලංකාව සිය කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණය සමඟ ඵලදායී ලෙස කටයුතු කිරීම ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ පැසසුමට ලක්වුණා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කිරීමත්, ඒ යටතේ පවරා ඇති නඩු සම්බන්ධයෙන් විසදුමකට එළඹීමත්, පමා වී ඇති බව ඔහු ජිනිවා මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවේ සඳහන්.
මේ අතර, දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව ප්‍රසාදයට ලක් කළා.
එමගින් දෙමළ ජාතික සන්ධානය කියා සිටියේ ජාත්‍යන්තර ප්‍රජාව වෙත ලක් රජය ලබාදුන් ප්‍රතිඥාවන් ඉටු කරලමින් ජාතික ගැටළුවට දේශපාලන විසදුමක් ලබාදෙමින් මෙරට තිරසාර සාමය තහවුරු කළ යුතු බවයි.