Gossips

මාධ්‍යවේදියෙකුට පහරදීම ගැන නාවුක හමුදාව සමාව ඉල්ලයි

හම්බන්තොට වරාය පරිශ්‍රයේදී හිටපු නාවුක හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා මාධ්‍යවේදියෙකුට පහරදීම සම්බන්ධයෙන් නාවුක හමුදාව ශ්‍රේෂ්ඨාධිකරණයේදී කොන්දේසි විරහිතව සමාව ඉල්ලා තිබෙනවා.
කෙසේ වෙතත්, නීති විශාරදයින් පෙන්වා දෙන්නේ ලිඛිතව සමාව ඉල්ලීම හරහා අගතියට පත් පාර්ශ්වයට සාධාරණයක් ඉටුනොවන බැවින් හිටපු
නාවුක හමුදාපතිවරයා විසින්ම ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවයි.
තමන් වරාය අධිකාරිය යටතට බඳවාගෙන රැකියාව ස්ථිර කරන ලෙස ඉල්ලා හම්බන්තොට වරාය සේවකයින් සිදුකළ විරෝධතාවක් අතරතුර අප ප්‍රාදේශීය මාධ්‍යවේදී රොෂාන් ගුණසේකර මහතාට හිටපු නාවික හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා පහර දුන්නේ 2016
වසරේ දෙසැම්බර් මස 10 වැනිදායි.
මෙම සිද්ධිය පිළිබඳ රටේ දැඩි ආන්දෝලනයක් ඇති වූ අතර බොහෝ පාර්ශ්වයන් අදාළ පහරදීමට විරෝධය පළ කළා.
හිටපු නාවික හමුදාපතිවරයා සිදුකළ පහරදීම සම්බන්ධයෙන් අප ප්‍රාදේශීය මාධ්‍යවේදියා විසින් 2017 ජනවාරි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කළේ ඉන් අනතුරුවයි.
අදාළ නඩුව වසරකට අධික කාලයක් ක්‍රියාත්මක වෙමින් පැවැති අතර පසුගියදා නාවික හමුදාව පාර්ශ්වයෙන් අධිකරණය වෙත ලිපියක් යොමුකර අදාළ පහර දීම පිළිබඳ සමාව ඉල්ලා තිබෙනවා.
එම ලිපියේ දැක්වෙන්නේ නාවික හමුදාව අදාළ සිද්ධිය පිළිබඳ කනගාටුව පළකරන බවත් හිටපු නාවික හමුදාපතිවරයා වෙනුවෙන්ල පහරකෑමට ලක්වූ මාධ්‍යවේදියාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවයි.