Gossips

මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු ඝාතනයට යොදාගත් ආයුධ සෙවීමට රැගෙන යයි

මාතර ඇලවේල්ල මාර්ගයේදී උසස් පෙළ සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාර ශිෂ්‍යයා අද බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ආවා.
ඒ, අධිකරණ නියෝගයක් මත සැකකරු භාවිත කළ පිහිය සහ ඇඳුම් බෑගය මෙන්ම සැඟව සිටි ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහායි.
මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි විතාරණ මහත්මියගේ නියෝගයකට අනුව සිසුවා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන අදාළ ස්ථාන වෙත රැගෙන ගියේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ.
විටියල පදිංචි ප්‍රධාන සැකකරු තමා ඝාතනය සඳහා යොදාගත් පිහිය නිල්වලා ගඟේ නායිම්බල පාලමෙන් ගඟට විසි කළ බව පොලිසියට ප්‍රකාශ කර තිබුණා.
ඒ අනුව සැකකරු පළමුවෙන්ම රැගෙන ආවේ අදාළ ස්ථානයටයි.
ඉන්පසු 16 හැවිරිදි සැකකාර සිසුවා දින දෙක හමාරක් කුරුම්බා බොමින් සැඟව සිටි බවට ප්‍රකාශ කර තිබූ කුරුඳු ඉඩමකට රැගෙන ආවා.
අනතුරුව සිසුවා රැගෙන ආවේ පාසල් බෑගය විසිකළ බවට පැවසුණු කිරඹආර ප්‍රදේශයටයි.
කෙසේ වෙතත් පොලිසියට කළ ප්‍රකාශ සහ අදාළ ස්ථානවලදී කරන ලද ප්‍රකාශවල තිබූ පරස්පරතා හේතුවෙන් පොලිසියට වැදගත් සාක්ෂි මෙහිදී සොයාගැනීමට හැකි වූයේ නැහැ.