Gossips

මාතර සැකකරුවන් පෙරට්ටුවේදී හඳුනාගනී

මාතර – ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද (03) පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවනු ලැබුවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා අද (03) අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඊට අදාළ දෙවන සහ තුන්වන සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කරනු ලැබුවා.
මෙම නඩුවේ සාක්ෂිකරුවන් තුන්දෙනා විසින් හඳුනාගැනීමේ පෙරට්ටුවේදී අදාළ සැකකරුවන් හඳුනා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය මස 24 වනදා පස්වරුවේ මියගිය සිසුවා ඇතුළු ඔහුගේ මිතුරන් පිරිසක් උපකාරක පන්තියකට සහභාගි වීමට පැමිණි අවස්ථාවේදී තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබුණා.
පසුව සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාර සිසුවා පසුගිය මස 26 වනදා අධිකරණයට භාරවූ අතර, දෙවන සැකකරුද මාතර සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට භාර වූයේ එදිනමයි.
සිද්ධියට සම්බන්ධ තුන්වන සැකකරු මාතර පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුුගිය මස 27 වනදායි.