Gossips

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ අවසන් කොටසේ ගිලා බැසීමක්

අලූතින් විවෘත කෙරුණු මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ අවසන් කොටසේ ගිලා බැසීමක් සිදුව තිබෙනවා.
ඒ හේතුවෙන් ලොකෝමෝටිව් එන්ජින් සහිත දුමිරිය මේ වනවිට ධාවනය නොවන අතර, බලවේග කට්ටල දුම්රිය පමණක් ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරි වජිර සමන් පොල්වත්තගේ කියා සිටියේ.
චීන එක්සිම් බැංකුවේ ප්‍රතිපාදන මත බෙලිඅත්ත දක්වා මෙම කොටස ඉදිකිරිම සඳහා වැයකෙරුණු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 278 ක්.
මෙම දුම්රිය මාර්ගය පසුගිය දා 8 වනදා ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග ඇතුළු මැති ඇමතිවරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද පෙරේදා එහි ගමන් කළා.
කෙසේ වෙතත්, ඊයේ ඇද හැලූණු වැසි හේතුවෙන් දුම්රිය මාර්ගයේ මෙම ගිලා බැසීම සිදුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරි වජිර සමන් පොල්වත්තගේ සඳහන් කළේ.
මේ අතර, කඩිගමුව සහ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර උමං මාර්ගයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් බාධා මතු වු උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
පස්වරු 3 ට පමණ මෙලෙස කාර්මික දෝෂයකට ලක්වුණේ අද දහවල් 12.40ට කොළඹ කොටුවේ සිට හැටන් බලා ධාවනය වූ ටිකිරි මැණිකේ දුම්රියයි.
කෙසේ වෙතත්, පසුව රඹුක්කන දුම්රිය ස්ථානයේ සිට ගෙන්වූ එන්ජිමක් ආධාරයෙන් එම දුම්රිය, ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන වෙත රැගෙන යනු ලැබුවා.
දුම්රිය උමං මාර්ගයේ නතර වීම හේතුවෙන් ගමන්බිම් බලා යමින් සිටි මගීන්ට මෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ට අඳුරේ රැදී සිටීමටයි සිදු වුණේ.