Gossips

මාතර ඝාතනයේ සැකකාර සිසුවන් ගැන, සියළුම පොලිස් ස්ථාන දැනුවත් කරයි

මාතර – ඇළවේල්ල පාර, උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී 19 හැවිරිදි සිසුවා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකාර සිසුන් තුන්දෙනා සම්බන්ධයෙන් දිවයිනේ සියළුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා.
මීට අමතරව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක්, ගන්දර සහ තිහගොඩ පොලිස් ස්ථාන මෙන්ම බුද්ධි අංශ ද පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි මාතර පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් ඝාතනය සිදුකිරීම සඳහා සිසුන් පැමිණි යතුරුපැදිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.
එය අතහැර දමා ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
සැකකාර සිසුන් තුන් දෙනාගේ දෙමව්පියන්ගෙන් ද මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඔවුන් එහිදී සදහන් කර ඇත්තේ තම දරුවන් පිළිබද කිසිදු තොරතුරක් නොදන්නා බවටයි.
ඝාතනයෙන් පසුව සිසුන් තුන් දෙනා පළා ගොස් සැඟව සිටින බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
මෙම ඝාතනයට හේතුව මීට පෙර ඇතිවු ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය අනාවරණය කර ගත්තා.
ඝාතනයට ලක්වූ සිසුවාගේ බාල සොහොයුරෙකු සම්බන්ධයෙන් ඇතිවු ගැටුමක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි මාතර පොලිසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
ඊයේ (24) පස්වරුවේ මියගිය සිසුවා ඇතුළු ඔහුගේ මිතුරන් පිරිසක් උපකාරක පන්තියකට සහභාගි වීමට පැමිණි අවස්ථාවේ මෙම ඝාතනය සිදුවුණා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තිහගොඩ – නායිම්බල – මාහේන ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පාසල් සිසුවෙක්.
මේ අතර, පාසල් සිසුන් දෙදෙනෙකු අතර ගැටුමකින් 17 හැවිරිදි බේරුවල ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් ද ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වුණා.
පාසලේදී සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් සිදුකළ පහරදීමක් හේතුවෙනුයි මෙම පාසල් සිසුවා මියගොස් ඇත්තේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ බේරුවල – මරක්කලාවත්ත ප්‍රදේශයේ සිසුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් පහරදීම සිදුකළ බව කියන 15 හැවිරිදි සිසුවෙකු බේරුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.