Gossips

මාතර කොල්ලයට ගෙන ආ, මිනිඋෂි ගිනි අවිය රස පරීක්ෂකට

මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළදසැලක් කොල්ලකෑමට පැමිණි පාතාල සාමාජිකයින් අතර ඇති වූ වෙඩි හුවමාරුවේදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන පොලිස් සැරයන්වරයාගේ සුවදුක් විමසීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර අද එහි පැමිණියා.
දැනට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ පපු ප්‍රදේශයට බරපතල තුවාල සිදුව තිබුණා.
මෙම පොලිස් සැරයන්වරයා තම ජීවිත අවදානම නොතකමින් වෙඩි ප්‍රහාරවලට ලක්ව සිටියදී ද කොල්ලකරුවන්ට ප්‍රති ප්‍රහාර එල්ල කර ඇති බවටයි වාර්තා වන්නේ.
වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ අනෙක් පොලිස් නිලධාරියා මේ වන විට නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියට සැකකරුවන් විසින් රැගෙන ආ මිනිඋෂි වර්ගයේ ගිනි අවිය ඉදිරි පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබෙනවා.
අදාල ගිනි අවිය මෙරටදී භාවිතයට ගනු ලබන්නේ ප්‍රභූ ආරක්ෂකයින් සඳහා පමණක් වන බැවින් එය ඔවුන්ට ලැබුණේ කෙසේ ද යන්න පිලිබඳව දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.
සැකකරුවන් විසින් ගිනි අවියෙහි කේතඅංකය ද වෙනස් කර තිබෙනවා.
මිනි උෂි වර්ගයේ ගිනි අවි දැනට නිපදවනු ලබන්නේ ඊශ්‍රායලයේ පමණක් වීම ද විශේෂත්වයක්.
විනාඩියකට උණ්ඩ වට 600ක් නිකුත් කළ හැකි මෙම නවීන ගිනි අවිය පිස්තෝල – මැෂින් තුවක්කුවක් ලෙස ද හැදින්වෙන්නේ එමගින් මිලිමීටර් 9යේ උණ්ඩ නිකුත් කිරීම හේතුවෙන්.
මේ අතර, කොල්ලකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහගේ බිරිඳ සහ දරු දෙදෙනාට රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් ලබාදීමට මාතර නගරයේ ව්‍යාපාරික ප්‍රජාව කටයුතු කර තිබෙනවා.
මීට අමතරව දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට සිදුකිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමට ද ව්‍යාපාරික ප්‍රජාව ඉදිරිපත් වී ඇති බව සඳහන්.
එමෙන්ම තම ජීවිත අවදානම නොතකා වෙඩි හුවමාරුව වන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයින් ඇගයීමට ලක් කිරීමේ උත්සවයක් අද උදෑසන මාතර පොලිස් අධිකාරී කාර්යාලයේදී පැවැත්වුණා.
එහිදී එම පුද්ගලයින් 3 දෙනෙකුට පමණ මුදල් ප්‍රදානයක් ද සිදුකෙරුණු බවයි පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරුවන් රැගෙන යමින් තිබූ පොලිස් ජීප් රථයක් හිඟුරක්ගොඩ – මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේ යුදගනාව – වයි හන්දිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන කොහොඹ ගසක ගැටී අද උදෑසන සිදුවූ අනතුරකින් 06 දෙනෙකු තුවාල ලැබුවා.
තුවාල ලැබූවන්ගෙන් හතර දෙනෙකු සැකකරුවන් වන අතර අනෙක් දෙදෙනා පොලිස් නිලධාරීන් වන බවයි මැදිරිගිරිය පොලිසිය සඳහන් කළේ.
කාන්තාවක් අපයෝජනයට ලක් කර මහාධිකරණය මගින් වරෙන්තු ලැබූ පුද්ගලයෙකු ද තුවාලකරුවන් අතර සිටිනවා. ඔවුන් මේ වනවිට මැදිරිගිරිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.