මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ කොල්ලකෑම මෙහෙය වූ ප්‍රධාන සැකකරු වන තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
ඔහුගේ සොහොයුරා සහ තවත් පුද්ගලයෙකු එම රෝහලේ ප්‍රතිකාර ලබන අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ද එහි යොදවා තිබෙනවා.
මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට මෙම කොල්ලකරුවන් පැමිණ තිබුණේ යතුරුපැදි දෙකකින් සහ කැබ් රථයකින්.
ඔවුන් කොල්ලය සිදුකර පළා යද්දී, එම ස්ථානයට පැමිණි පොලීසිය සමඟ වෙඩි හුවමාරුවක් සිදුවූ අතර, එහිදී පොලිස් නිලධාරීන් 3 දෙනෙකු ඇතුළු 5 දෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කළා.
කෙසේ වෙතත්, බරපතල තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු එහිදී ජීවිතක්ෂයට පත්වුණා.
තුවාල ලැබූවන් මාතර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
පසුව පොලීසිය ප්‍රදේශයේ සිදුකළ සෝදිසියකදී මෙම කොල්ලකෑම සඳහා පැමිණි වේයන්ගොඩ – මාළිගාතැන්නේ පදිංචි චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා අත්අඩංගුවට ගත් අතර, කොල්ලකරුවන් පැමිණි යතුරුපැදි දෙකක් සහ ස්වංක්‍රීය ගිනි අවියක් ද සොයා ගත්තා.
කොල්ලකෑම සඳහා 6 දෙනෙකු පැමිණ ඇති අතර, මේ වන විට ඉන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොල්ලකරුවන් පැමිණි එක් යතුරුපැදියක ලියාපදිංචි හිමිකාරිය වූ කොස්ගොඩ තාරකගේ මව ද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇගේ නිවසේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක් ද සොයාගෙන ඇති බව සඳහන්.