Gossips

මාතරදී හිරු වාර්තාකරුට අසභ්‍ය වචනයෙන් බැන තර්ජනය කරයි

රිය අනතුරක් වාර්තා කිරීමට ගිය හිරු මාතර වැලිගම වාර්තාකරුට එම ප්‍රදේශයේදී කිසියම් පිරිසක් බැන තර්ජනය කර තිබෙනවා.
පසුගියදා මෙලෙස තර්ජනය එල්ලවී ඇත්තේ තරංග ගුණරත්නටයි.
ඔහු මාතර ප්‍රදේශයේ සිට සිය නිවසට පැමිණෙමින් සිටින අතරතුරදී මාතර කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරක් වාර්තා කිරීමට ගිය අවස්ථාවේදීයි මෙම තර්ජනයට ලක්ව ඇත්තේ.
එහි සිටි අයෙකු තමන්ගේ ජංගම දුරකථනය රැගෙන එහි පටිගත කළ දත්ත මකා දමා තමන්ට තර්ජනය කළ බවයි ඔහු අපවෙත ප්‍රකාශ කළේ.
එම අවස්ථාවේ තමන් මාධ්‍යවේදියෙකු බව තහවුරු කිරීමට හැඳුනුම්පත ඉදිරිපත් කළද එය නොසලකා හරිමින් කොලරයෙන් අල්ලාගෙන බැන තර්ජනය කළ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
එහිදී පසුව පැමිණි පිරිසක් අප මාධ්‍යවේදියාට අසභ්‍ය වචනයෙන් බැනවදිමින් තර්ජන කර ඇත්තේ කිසිවක් වාර්තා නොකරන ලෙසටයි.
අනතුරුව අදාළ සිදුවීමෙන් මහත් පීඩාවට පත්වූ ඔහු මේ සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි වැඩිදුරටත් සඳහන් කළේ.