Gossips

මාකදුරේ මධූෂ්ගේ ළගම ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

පාතාල නායක මාකදුරේ මධූෂ්ගේ සමීපතම ගෝලයන් දෙදෙනෙකු ටී.56 ගිනි අවියක් සහ උණ්ඩ 29 ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හෝමාගම සහ බණ්ඩාරගම ප්‍රදේශවල කළ වැටලීමකදීයි.
පසුගිය 14 වනදා රත්නපුරයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළ සිද්ධියට ද ඔවුන් සම්බන්ධ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
සැකකරුවන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 4 වනදා දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිවී තිබෙනවා.
මෙහිදී සොයා ගත් ගිනි අවිය කළුතර බන්ධනාගාරය ආසන්නයේදී රණාලේ සමයං ඇතුලූ 7 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ද යොදා ගෙන ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.
මේ අතර, වෙඩි තැබීමෙන් මියගිය පාතාල කල්ලි නායකයෙකු වන කාදර් මොහොමඩ් අස්මිල් හෙවත් මාමස්මිගේ සොහොයුරෙකු අද උදෑසන මාලිගාවත්ත – ජුම්මාහන්දිය අසලදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා.
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.
එසේම, අම්බලංගොඩ, ගාල්ල, අලූත්ගම ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවූ සොරකම් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු මීටියාගොඩ – වේරගොඩ ප්‍රදේශයේ දී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
22 හැවිරිදි ඔහු බද්දේගම – අම්පේගම – අද්දරකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.