Gossips

මහ ලේකම් ධුර වෙනස් කරන්නැයි, ඉල්ලීමට යයි – ඇමති ධුරවල ඉන්න අයිතියක් නැහැ – කිරිඇල්ලගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ නිදහස් සන්ධානයේ මහලේකම් ධුරවල වෙනසක් සිදුකළ යුතු බවට ඉල්ලීමක් අද (09) පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට ඉදිරිපත් කරන බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යම කාරක සභා රැස්වීම අද රාත්‍රී 7ට පැවැත්වෙන්නේ ජනාධිපතිවරයාගේ නිළ නිවසේදියි.
එහිදී විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිතා කළ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් ඉවත් වනවා ද නැද්ද යන්න පිළිබදව තීරණයක් ගැනීමට ද නියමිතව තිබෙනවා.
විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සමඟ තවදුරටත් ආණ්ඩුව තුළ කටයුතු කළ නොහැකි බවට එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් පිරිසක් පසුගිය දා ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණා.
ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදියි.
අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීම පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමේදී අමාත්‍ය චන්දිම වීරක්කොඩි කියා සිටියේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබදව ද මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක ද වව්නියාව – ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ අද පැවැති උත්සවයකින් අනතුරුව රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව මාධ්‍ය වෙත අදහස් පළ කළා.
එහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව ඉවත් කරගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහනුවර අද පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ විශ්වාසභංගයට සහය පළ කළ අමාත්‍යවරුන් තවදුරටත් එම ධුර දැරීම සුදුසු නොවන බවයි.
මේ අතර, විශ්වාසභංග යෝජනාවෙන් පසු මතුව ඇති දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අනිද්දා අග්‍රාමාත්‍යවරයා මුණ ගැසීමට නියමිතව තිබෙනවා.