Gossips

මහ මැතිවරණය 2017 ජන්ද නාමලේඛණයෙන් – මන්ත්‍රී සංඛ්‍යාවත් ගැසට් කෙරේ

අධිකරණ තීන්දුවක් ලැබෙනතුරු මහ මැතිවරණයට අදාල වැඩ කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ බී.බී.සී. සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.
මේ අතර එළඹෙන මහ මැතිවරණයේදී ඒ ඒ දිස්ත්‍රික්කවලට තෝරාපත් කරගනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මේ වනවිට ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව වැඩිම පිරිසක් තෝරා ගැනෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය සඳහායි. එම සංඛ්‍යාව 19ක්. අඩුම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට තෝරා ගන්නා අතර එම ප්‍රමාණය 04ක් වනවා.
ගම්පහ දිස්ත්‍රික්කයට මන්ත්‍රීවරු 18ක්, කුරුණෑගලට 15ක්, මහනුවරට 12ක් සහ රත්නපුරයට 11ක් වශයෙන් මන්ත්‍රීවරු තෝරා පත් කර ගැනීමට නියමිතයි.
එමෙන්ම කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කයට මන්ත්‍රීවරු 10 දෙනා බැගින් ජන්දයෙන් තෝරා පත් කරගනු ඇති.
අනුරාධපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට මන්ත්‍රීවරු 09 දෙනා බැගින් මෙන්ම නුවරඑළිය, පුත්තලම සහ බදුල්ල දිස්ත්‍රික්කවලට මන්ත්‍රීවරු 08 දෙනා බැගින් තෝරා ගැනීමට නියමිතයි.
මාතර, හම්බන්තොට, දිගාමඩුල්ල සහ යාපනය දිස්ත්‍රික්කවලට 07 දෙනා බැගින් ද වන්නි සහ මොණරාගල දිස්ත්‍රික්කවලට මන්ත්‍රීවරු 06 දෙනා බැගින් ද තෝරා පත්කර ගනු ඇති. මාතලේ, මඩකලපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක සඳහා මන්ත්‍රීවරු තෝරා ගන්නේ 05දෙනා බැගිනි.
මහ මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සිය අපේක්ෂක ලේඛණය ඒ ඒ දිස්ත්‍රික්කවලට තෝරා ගන්නා මන්ත්‍රී සංඛ්‍යාවට වඩා අපේක්ෂකයන් තුන්දෙනෙකු වැඩියෙන් ඇතුළත් කර ඉදිරිපත් කළ යුතුයි.
පිලිගත් දේශපාලන පක්ෂ මෙම මැතිවරණයේදී ඇප තැන්පත් කිරීමට අවශ්‍ය නොවන අතර ස්වාධීන කණ්ඩායම් එක් එක් අපේක්ෂයාට රුපියල් දෙදහස බැගින් ගණනය කර ඇප තැන්පත් කළ යුතු වනවා.
ජනවාරි 05 වනදා පැවැත්වෙන මහ මැතිවරණයේදී නාම යෝජනා කාලය ලබන 19 වනදායි ආරම්භ වී 26 වනදා මධ්‍යහන 12න් අවසන් වීමට නියමිතයි.
මෙවර මැතිවරණය 2017 ජන්ද නාම ලේඛණයට අනුව සිදු කෙරෙන අතර ඒ සඳහා සුදුසුකම් ලබා ඇති ජන්දදායකයන් සංඛ්‍යාව එක් කෝටි 54 ලක්ෂ 864ක්.