Gossips

මහ ඔය අබිරහස් මරණය

මහඔය පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී මියගිය පොලිස් නිලධාරියාගේ මෘත දේහයට නිල ඇඳුම ඇන්දවීමට අවසර නොදී තමන්ටද තර්ජනය කළ බවට ඔහුගේ පවුලේ ඥාතීන් මහඔය පොලිසියේ නිලධාරීන්ට චෝදනා කරනවා.
මියගිය ජේ.පී.ජේ සමන්තිලක ජයසිංහගේ දේහය මේ වනවිට බිබිල පිටකුඹුර ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
ඔහුගේ ඥාතීන් පැවසුවේ තමන්ට මහඔය පොලිසියේ නිලධාරීන්ගෙන් විවිධ තර්ජන එල්ල වී ඇති බවයි.
මේ අතර අද පෙරවරුවේ අදාළ පොලිස් නිලධාරියාගේ මෘත දේහය හමුවූ බවට සැළකෙන බෝමුනුගල රක්ෂිතයේදී මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වුණේ දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් වාසනා නවරත්නගේ ප්‍රධානත්වයෙන්.
එම ස්ථානයේ තිබී හිස් උණ්ඩ 2ක් හමුව ඇති අතර මියගිය පොලිස් නිලධාරියා සමග ගිය බවට පැවසෙන තවත් නිලධාරීන් තිදෙනෙකු පවසා ඇත්තේ තමන් අදාළ නිලධාරියාගේ මළ සිරුර පොලිස් මුරපොළ වෙත රැගෙන ආ බවයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අදාළ පුද්ගලයාට පහරදීමක් සහ විදුලි සැර වැද්දවීමක් සිදු වී ඇති බවට ප්‍රකාශ කලද ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.
අදාළ මෘත ශරීරයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ පොලිස් මුරපොළේ දී නොදන්වා රාජකාරියෙන් බැහැරව දඩයමේ ගිය බවට මෙතෙක් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී තිබීම හේතුවෙන් මියගිය පොලිස් නිලධාරියාට නිල ඇඳුම ඇන්දවීමට ඉඩ ලබා නොමැති බවයි.
තිදරු පියෙකු වන 41 හැවිරිදි ජේ.පී.ජේ.ජයසිංහගේ මළ සිරුර මහඔය පේරවැල්තලාව ප්‍රදේශයේ ගල් තලාවක් මත තිබී සොයා ගැනුණේ පෙරේදා පස්වරුවේයි.
මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පෙරවරුවේ මහනුවර ශික්ෂණ රෝහලේදී සිදු කෙරුණු අතර එහිදී ලබාදුනනේ විවෘත තීන්දුවක්.
එහිදී අනාවරණ වූයේ මොටආයුධයකින් සිදු කළ තුවාලයක් සහ විදුලි සැර වැදීමෙන් සිදු වූ තුවාලයක් අතේ ඇති බවයි.