Gossips

මහියංගනයේ විරෝධතාව අවසන්

වන අලි ප්‍රහාරයකින් දැරියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියෙන් පසු මහියංගනය – මාපාකඩවැව ප්‍රදේශවාසීන් අද විරෝධතාවක නිරත වුණා.
ඒ, බදුල්ල – මහියංගනය මාර්ගය මහියංගනය – විස්සේ කණුව ප්‍රදේශයෙන් අවහිර කරමින්.
මෙම විරෝධතාවට මහියංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මහියංගනය – මාපාකඩ වැව ප්‍රදේශයේදී මෙම වන අලි ප්‍රහාරය එල්ල වී තිබුණේ ඊයේ රාත්‍රි 11.50 ට පමණයි.
ඥාතී සහෝදරියන් වන 08 හැවිරිදි සහ 11 හැවිරිදි දැරියන් දෙදෙනෙකු මෙහිදී ජීවිතක්ෂයට පත්වී තිබුණා.
වන අලි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ බියට පත් දැරියන් දෙදෙනා නිවසින් පිටතට දිවගොස් ඇති අතර, එහිදී වන අලියා දැරියන්ට පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පසුව ප්‍රදේශවාසීන් විරෝධතාව ආරම්භ කළේ දැරියන් මිය ගොස් පැය ගණනාවක් ගතවුවත් ඒ පිළිබදව බලධාරීන් අවදානය යොමු නොකිරීම සහ ගම්මාන රැසකට පවතින වන අලි තර්ජනයට නිසි විසඳුම් නොලැබීම යන කරුණු පදනම් කර ගනිමින්.
පැය දෙකකට අධික කාලයක් පිරිස විරෝධතාවයේ නිරත වූ අතර, රිදීමාලියද්ද හා මහියංගනය භාර වනජීවි නිලධාරීන් එම ස්ථානයට පැමිණ අදාළ වන අලියා පලවා හැරීමට කඩිනමින් කටයුතු කරන බවට එකඟවීමත් සමඟ පිරිස විසිර ගියා.