Gossips

මහියංගණය අනතුරෙන් මියගිය දසදෙනා අතර, පවුල් තුනක සාමාජිකයන්

මහියංගණය ජාතික පාසල ඉදිරිපිටදී වෑන් රථයක් බස් රථයක ගැටී සිදුවූ අනතුරින් මියගිය දසදෙනා පවුල් තුනක සාමාජිකයන් බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා.
මඩකලපුවේ – දවුබාර් පෙදෙසේ සහ රත්නම් පාරේ පදිංචි මෙම පිරිස නුවරඑළියේ සංචාරයක නිරතවී ආපසු පැමිණෙමින් සිටියදියි අනතුර සිදුව ඇත්තේ.
සිද්ධියෙන් ලිස්ටර් ඇලෙක්සැන්ඩර් නැමති 32 හැවිරිදි පුද්ගලයෙකු, ඔහුගේ 27 හැවිරිදි බිරිඳ සහ වයස අවුරුදු 4 ක් වන නිවුන් දැරියන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වුණා.
එසේම ප්‍රින්ස් හෙඩි‍්‍රක් නැමති 48 හැවිරිදි පුද්ගලයෙකු, ඔහුගේ බිරිඳ සහ දියණිය සහ පුතුද මෙම අනතුරින් මියගොස් තිබෙනවා.
එසේම තවත් දියණියක් සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර, ජෝෂප් රැලින්ටන් නැමති 56 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මේ අතර සිද්ධියෙන් වෑන් රථයේ ගමන් කළ දෙදෙනෙකුට අමතරව බස් රථයේ සිටි 6 දෙනෙකුද තුවාල ලබා ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය ත්‍රිකුණාමලයේ සිට දියතලාව දක්වා ගමන් කරමින් තිබූ අතර, වෑන් රථය බදුල්ලේ සිට මහියංගණය දෙසට ධාවනය වී තිබුණා.
මෙම පෞද්ගලික බස්රථය තේ පානය සඳහා නතර කර යළි ගමන් අරඹනවාත් සමඟ වේගයෙන් පැමිණි වෑන් රථය එහි ගැටුණු බවයි බස් රථයේ මගීන් කිහිපදෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
පොලීසිය සැක කරන්නේ වෑන් රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි.
මේ අතර, පසුගිය 11 වැනිදා සිට ගත වූ දින 6 තුල සිදුවූ මාරක රිය අනතුරු 35 කින් පුද්ගලයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් රථ වාහන කොට්ඨාසය සදහන් කළේ තවත් බරපතළ ගණයේ රිය අනතුරු 118 ක් වාර්තා වී ඇති බවයි.