Gossips

මහියංගණයේ නීති විරෝධී වැලි කැණීම් යළිත්

මහියංගනය මහවැලි පාලමේ ආරක්ෂාව සදහා වැලි කැණීම් තහනම් කළ කලාපයේ නැවතත් නීති විරෝධී වැලි ජාවාරම් ආරම්භ කර තිබෙනවා.
තහනම් කලාපයට ආසන්නයේ වැලි කැණීම් සදහා බදුල්ල භූ විද්‍යා හා පතල් කාර්යාංශය මගින් ලබාදුන් නව බලපත්‍ර උපයෝගී කරගනිමින් මෙම ජාවාරම සිදුකරනවා.
නීති විරෝධී වැලි ජාවාරම් හේතුවෙන් මහවැලි පාලම අවදානමට ලක් ව ඇති බව හිරු ප්‍රවෘත්ති හරහා අවස්ථා රැසකදී හෙළි කළා.
පාලමේ සිට කිලෝ මීටරයක් පමණ දුරකට වැලි කැණීම් සදහා බලපත්‍ර ලබානොදීමට භූ විද්‍යා හා පතල් කාර්යාංශය පියවර ගත්තේ ඉන් අනතුරුවයි.
කෙසේ වෙතත් යළිත් ජාවාරම්කරුවන් පිරිසක් මහවැලි ගගේ තහනම් කලාපයේ ඉවුරු වනසමින් වැලි කැණීම් සිදුකරන බවට තොරතුරු වාර්තා වුනා.
ඒ පිළිබද වාර්තාකිරීමට අප අදාල ස්ථානයට ලගාවන විටත් අප පැමිණි බව ඔත්තුකරුවන් හරහා දැනුවත් වී සිටි ජාවාරම්කරුවන් බෝට්ටු රැගෙන පළා ගියා.
මහියංගනය පොලිසියේ නිලධාරීන් පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ජාවාරම් කරුවන් වැටලීමට ක්‍රියාකළා.
වැටලීමේදී සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත් අතර නීති විරෝධී වැලි කැණීම්වල නිරත බෝට්ටු තුනක සිටි සැකකරුවන් මෙහිදී පළා ගියා.