මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමත් සමගම පැදුරටත් නොකියා රටෙන් පලාගිය බැසිල් රාජපක්ෂ දැන් හෙමින් සීරුවේ හැව හරිමින් සිටී. මහින්ද පාලන සමයේ අමාත්‍යංශ රැසක සිය බලය විසුරුවාගෙන සිය අණසකට යටත්ව පවත්වාගෙන ගිය බැසිල් රාජපක්ෂ මහින්දගේ පරාජයට ප්‍රභලම සාධකය යයි ඒකාබද්ද විපක්ෂ සාමාජිකයන් විටෙන් විට ප්‍රකාශ කර තිබේ.
අන්වර් ඉස්මයිල් මන්ත්‍රීවරයාගේ පුරප්පාඩුවට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි බැසිල් ඉන් අනතුරුව රාජපක්ෂ රජයේ “නිල නොවන” නායකයා මෙන් කටයුතු කරන්නට විය. වෙනකක් තියා ඇතැම් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පවා ඔහුට “සර්” කියන මට්ටමේ විය. මේ සියල්ල බැසිල් ආරෝපණය කර ගත්තේ මහින්ද රාජපක්ෂගේ සහෝදරයා වීම තුළය. රාජපක්ෂ රෙජීමයට එරෙහිව විපක්ෂය ඇතුළු සිවිල් සමාජ කණ්ඩායම් මතු කළ සහෝදර සමාගම නමැති සටන් පාඨය පෝෂණය කිරීමට වැඩිම අඩුමකුඩුම සැපයු පුද්ගලයා බැසිල්ය. රාජපක්ෂ සමයේ සිදුවූ සෑම නොපනත්කමක් වෙනුවෙන්ම කොන්දේසි විරහිතව පෙනී සිටි බැසිල් “ජේත්තුකාර” ජීවිතයක් ගෙන ගියේ ජනතා බදු මුදල් කිසිදු වගක් නොමැතිව පරිහරණය කරමිනි. රටේ සාතිශය බහුතරයක් වන දිළිඳු ජනතාව වෙනුවෙන් වෙන් කළ මුදල් තම දේශපාලන ව්‍යාපෘතීන්හි දිග පලළ වැඩි කර ගැන්ම වෙනුවෙන් කිසිඳු හිරිකිතයකින් තොරව භාවිත කළ බැසිල් කෙතරම් “කුමාර” ජීවිතයක් එකල ගෙන ගිය බවට 2014 කාලය තුළ ඔහු ගිය ගුවන් ගමන් හොඳ සාක්ෂියක්ය.
වරක් මේ නොමනා ජඩ කම් පිලිබඳ මහින්ද රාජපක්ෂට කන වැකුණු පසු ඔහු විසින් බැසිල් රාජපක්ෂ කැඳවා මේ වැඩ නවත්වන ලෙස පවසා ඇත. එවෙලේ ඔලුව වනා එලියට පැමිණි බැසිල් සිය සගයෙකු සමග, “එයා ඉන්නේ මේ අවුරුද්ද දෙක විතරනේ. අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියා” පවසා ඇත. එවිට සගයා විමසා ඇත්තේ “එහෙම කොහොමද වෙන්නේ, මහින්දට ආයෙත් ඉල්ලන්න පුළුවන්නේ” යනුවෙනි. එවිට බැසිල් පවසා ඇත්තේ “බලමුකෝ” යනුවෙනි. සිය සහෝදරයාට විරුද්ධව මෙලෙස ගේම් ගසන්නෙකු අපි වැනි පුද්ගලයන්ට මොනවා කරන්න බැරිදැයි සිතමින් උක්ත පුද්ගලයා බැසිල්ගේ ඇසුරෙන් ඉවත් වූ බව, ඔහු අපගේ ලියුම්කරු සමග පවසා ඇත.
2015 ජනවාරි 9 දින පරාජයෙන් පසුව සිය ගේම සාර්ථක වූ සතුටත් යටපත් කරගෙන හිතේ අමාරුවෙන් තමන් රට හැරයාමට සූදානම් බව කිහිපදෙනක් සමග පවසා ඇතත්, බැසිල්ගේ අරමුණ වෙනකක් වූ බව ලියුම්කරු පසුව සොයාගත්තේය. ඒ රටේ මීළඟ විපක්ෂ නායකයා වීමටය. ඒ වෙනුවෙන් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවකට බැසිල් කතා කළමුත් එයට ධනාත්මක ප්‍රතිචාර හිමි වුණේ පක්ෂයේ දෙවැනි තුන්වැනි පෙළ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගෙන් පමණි. බැසිල්ව ඒ තරමටම ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන්ට එපා වී තිබිණි. එම සැලසුම උපන් ගෙයිදීම ව්‍යර්ථ වූ පසු ඇමෙරිකානු පුරවැසි භාවය සහිත බැසිල් ලොස් ඇන්ජලීස් නුවර බලා පිටත් විය. ජනවාරි 11 වැනි දින රටේ අතිබහුතරයක් ජනතාව සුව නින්දක පැටලී සිටියදී එමිරේට්ස් සමාගමට අයත් E. K. 349 දරන ගුවන් යානයෙන් බැසිල් ඇමෙරිකාව බලා පිටත්වෙද්දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ හෝරා යන්ත්‍රයෙහි වේලාව සටහන්ව තිබුණේ පෙ. ව. 2.55 ලෙසය. බැසිල් ලංකාවෙන් පිටව ගියේද (VIP) විශේෂ ප්‍රභූ පර්යන්තය ඔස්සේය.
එසේ රටින් පළා ගිය බැසිල්, රනිල් වික්‍රමසිංහ සමග සමීප සම්බන්ධතා පැවැත්වූ බවත් ඔයා බය නැතුව එන්න, මම බලාගන්නම් යනුවෙන් රනිල් පොරොන්දු වී ඇති බවත් වාර්තා වේ. මාස කිහිපයකට පසු යළි මෙරටට පැමිණිමුත් දිවි නැඟුම අරමුදලේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් බැසිල් අත්අඩංගුවට පත්විණි. අත්අඩංගුවට පත් වුවද බැසිල් බන්ධනාගාරයට නොගියේය. රනිල් වික්‍රමසිංහගේ පිහිටෙන් අසනීප තත්ත්වයක් යැයි කියමින් ඔහු ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළත් විය. ඇප ලබා යළි පිටතට පැමිණෙන තෙක්ම බැසිල් සිටියේ ගෙවන වාට්ටුවේය.
බැසිල්ගේ දේශපාලනය පිළිබඳ කතා කරන බොහෝ දෙනෙකු පවසනුයේ රාජපක්ෂ පාලනයට අවැසිව තිබූ දේශපාලන ස්ථාවරත්වය ඔහු නිර්මාණය කළ බවය. විපක්ෂයේ දේශපාලන පක්ෂ කිතු කිතු කරමින්, “දේශපාලන ගනුදෙනු” හරහා රජය ශක්තිමත් කිරීම ඔහුගේ ක්‍රමය විය. ඒ හරහා ඔහු “වැඩ්ඩෙකු” ලෙස සමාජගත වන්නට විය. නමුත් එය පමණ ඉක්මවා බැසිල්ගේ හැකියාව උලුප්පා දැක්වීමක් බව මේ ලියුම්කරුගේ අදහසයි. එමෙන්ම අමතක නොකළ යුතු වැදගත්ම කරුණ වනුයේ බැසිල් ඒ සියල්ල කළේ දේශපාලන බලය සහිතව බවය. දේශපාලන බලය ඇති විට වැඩ පෙන්වීම සාමාන්‍ය කරුණකි.
ඒකාබද්ද විපක්ෂය විසින් අටවා ගත් පොහොට්ටුවේ අයිතිය බැසිල් විසින් බලෙන් පවරාගනිද්දී, පොහොට්ටුවට දර දිය ඇදී බොහොමයක් පිරිස් කුණුබක්කියට වැටුණි. ඒකාබද්දයට එක්වී සිටි ජ්‍යෙෂ්ඨයන්ට පවා කබලෙන් ලිපට වැටෙන්නට වූයේ, බැසිල් රාජපක්ෂ පොහොට්ටුව අයිති කරගැනීමත් සමගය. මහජනතාව ඉදිරියේ මවාපෙන්වන එකමුතුව පොහොට්ටු ජ්‍යෙෂ්ඨයන් අතර දැන් නොමැති බව රහසක් නොවේ. එය වඩ වඩාත් හෙළි වූයේ පසුගියදා පොහොට්ටු කණ්ඩායම විසින් පැවැත්වූ මැයි රැලියත් සමගය. පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් බල්ලට දමා, සිය හෙන්චයියන් සමගින් රැලිය සංවිධානය කිරීම් කටයුතු කිරීමට බැසිල් රාජපක්ෂ කටයුතු කල අතර, කිසිවක් කරකියාගත නොහැකිව මහින්ද රාජපක්ෂ දෙලොවක අතරමං වී ඇතැයි පැවසේ.
කෙසේ වෙතත් අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන අපගේ ඔත්තුකරුවෙකු පැවසුවේ, පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් බොහොමයක් බැසිල්ගේ නොමනා ක්‍රියා නිසා කලකිරී ඇති අතර, රටම පුදුම කල හැකි දේශපාලන තීන්දු තීරණ රැසක් ඉදිරියේදී දැකගැනීමට හැකි වනු ඇති බවයි.
මම 2020 විශ්‍රාම යන්නේ නෑ. තව කරන්න වැඩ බොහොමයක් තියනවා යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන පැවසුවේ කාගේ හයියෙන් දැයි තීරණය කිරීම මහජනතාව සතුය.