Gossips

මහින්ද – මෛත්‍රී – රනිල් තැන් 3 කදී රැස්වෙයි

පවතින දේශපාලන තත්ත්වය හමුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටි නිළ නිවසේදීයි.
මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඊට සහයෝගය දැක්වීම, පාර්ලිමේන්තු මැතිවරණයක් කඩිනමින් ලබාගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම ආණ්ඩුවට එරෙහිව ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරෙන බවයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක්ද අද පස්වරු 1 ට ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතයි.
ඊට අමතරව පස්වරු 3 ට නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ පළාත්පාලන මැතිවරණයෙන් ජයගත් නිදහස් පක්ෂයේ නියෝජිතයින්ද කොටුව ජනාධිපති මන්දිරය වෙත ජනාධිපතිවරයා විසින් කැඳවා තිබෙනවා.
නිදහස් පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් බිහිකරගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සකස් කරමින් පවතින බවයි.
ඒ අනුව එම ආණ්ඩුවේ අග්‍රමාත්‍ය ධුරයට නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ නම යෝජනා කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සියලූ මන්ත්‍රීවරුන්ගේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේද සහය හිමවී ඇති බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා කියා සිටියා.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ හදිසි රැස්වීමක්ද මේ වනවිට පැවැත්වෙනවා.
අරලියගහ මන්දිරයේදී එම හමුව පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
සාකච්ඡාව අතරතුර පිටතට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ අඩුපාඩු සකිස් කරගනිමින් යහපාලන ආණ්ඩුව ඉදිරියට රැගෙන යාමට මෙහිදී තීරණය කළ බවයි.
එසේම එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී ප්‍රතිසංවිධාන කිරීමටද මෙහිදී තීරණය වූ බව අමාත්‍යවරයා කියා සිටියා.