Gossips

මහින්දානන්ද, අධිකරණයෙන් මුදා හරී – සහයට ඩිලාන්, දයාසිරි, චන්දිම සහ අනුරාධත් එයි

ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (17) පෙරවරුවේ මුදා හැරියා.
හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ මන්ත්‍රීවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇප කොන්දේසි සම්පුර්ණ කළ බවයි.
මේ අතර, මන්ත්‍රීවරයාට සහය පළ කිරීම සඳහා පසුගිය දා අමාත්‍ය ධුරවලින් ඉවත් වූ ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර සහ චන්දිම වීරක්කොඩි මෙන්ම අනුරාධ ජයරත්න යන හිටපු අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටීම විශේෂත්වයක්.
රජයේ මුදල් රුපියල් මිලියන 39 ක් අවභාවිතා කරමින් 2014 වසරේදී කැරම් බෝඩි සහ දාම් බෝඩ් තොගයක් මිළදී ගැනීමේ සිදුවීමට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (16) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.
අනතුරුව මන්ත්‍රීවරයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර විත්තියේ නීතිඥයින් එහිදී කරුණු දක්වමින් කියා සිටියේ කැරම් හා දාම් බෝඩ් ගෙන්වන ලද සතොස ආයතනය සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති ආයතනයක් බැවින් පොදු දේපළ පනතට නොගැණෙන බවයි.
එම නීතිමය තර්ක පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න රුපියල් 35,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරිර ඇප දෙකක් මත සැකකරුව මුදාහරින ලෙස නියෝග කළා.
එහිදී මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය, විදෙස් ගමන් බලපත්‍රය ආගමන විගමන පාලකවරයා වෙත යොමු කිරිමට ද නියෝග කරනු ලැබුවා.
කෙසේ වෙතත්, කොළඹ මහා අධිකරණය මගින් විභාග වන වෙනත් නඩුවක් සඳහා මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය එම අධිකරණය භාරයට පත් කර ඇති බවයි එහිදී ඔහුගේ නීතිඥයින් අධිකරණයට කරුණු දක්වා ඇත්තේ.
ඒ අනුව ඇප කොන්දේසි ඉටු කිරීමට අපොහොසත් වීම නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
පසුව අද (17) පෙරවරුවේ ඊට අදාළ වාර්තා මන්ත්‍රීවරයාගේ නීතිඥයින් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔහු මුදා හරිනු ලැබුවා.
ඔහුට සහය දැක්වීම සඳහා පසුගිය දා අමාත්‍ය ධුරවලින් ඉවත් වූ දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා සහ චන්දිම විරක්කොඩි මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න ඇතුළු පිරිසක් අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටියා.