Gossips

මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව විශේෂ මහාධිකරණයට ද ?

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ, ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ රජයේ මුදල් රුපියල් මිලියන 39 ක් අවභාවිතා කරමින් කැරම් සහ දාම් බෝඞ් තොගයක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුව විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කිරීමට සලකා බලමින් සිටින බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි අධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.
ඒ, මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ අද කැදවූ අවස්ථාවේදියි. ඒ අනුව මෙම නඩුව නොවැම්බර් මස 16 වන දා යළි කැදවනු ඇති.
මේ අතර, වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මේ මස 18 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
2012 වසරේ නොවැම්බර් 09 වනදා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මේ අතර, වැලිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබා ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් ආනයන අපනයනය දෙපාර්තමේන්තුවේ ආනයන අපනයන පාලකවරයා ලබන 18 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ අද කැදවූ අවස්ථාවේදියි.
එමෙන්ම රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක මේ මස 18 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කන්තලේ සීනි සමාගමට අයත් කොටස් ඉන්දියන් සමාගමකට ලබාදීම වෙනුවෙන් එම සමාගමෙන් රුපියල් කෝටි 54ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් කොටසක් ලබා ගැනීමේදී අල්ලස් කොමිසම කොළඹ පිහිටි හෝටලයක රථ ගාල තුලදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මැයි මස 03 වනදායි.