Gossips

මහින්දට එරෙහි රනිල් පාර්ශවයේ, පෙත්සම ඉල්ලා අස්කර ගනී

මහින්ද රාජපක්ෂ ඇතුළු 49 දෙනෙකු, අග්‍රාමාත්‍ය ධූරයේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් කෝවොරෙන්ටෝ ආඥාවක් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පෙත්සම්කරුවන් අද ඉල්ලා අස්කර ගත්තා.
මෙම රිට් පෙත්සමෙන් ඉල්ලූ සහනය මේ වනවිටත් ලැබී ඇති බැවින් එය ඉවත් කර ගන්නා බවයි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර වෙත දැනුම් දුන්නේ.
මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එම ධුරවල කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් කෝවොරෙන්ටෝ ආඥාවක් ඉල්ලා එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය විසි දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණේ පසුගිය වසරේ නොවැම්බර් මස 23 වනදායි.
එය විභාගයට ගත් අභියාචනාධිකරණය එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම ධූරවල කටයුතු කිරීම අත්හිටුවමින් පසුගිය දෙසැම්බර් මස 03 වනදා අතුරු තහම් නියෝගයක් නිකුත් කළා.
මේ අතර මහින්ද රාජපක්ෂ ඇතුළු එවකට අමාත්‍ය මණ්ඩලයේ සිටි පිරිසක් මෙම නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචනා පෙත්සම ද ඉදිරියේ ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔවුන්ගේ නීතිිඥයන් අධිකරණයට දැනුම් දී තිබෙනවා.