Gossips

මහින්දට එරෙහි පෙත්සමක් ඉවත් කර ගැනීමට ආණ්ඩුව සැරසේ

මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍යවරයා ලෙසට කටයුතු කිරීම වලක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක්කරමින් මහින්ද රාජපක්ෂ සහ අනෙකුත් හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගොනු කළ අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද විභාගයට ගැණුනා.
ඒ, අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේයි.
මෙම පෙත්සමේ වගඋත්තරකාරුවන් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් එකසිය විසි දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ දැනට අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම ඉවත් කර ගැනීම සඳහා සිය සේවාදායකයන්ගෙන් උපදෙස් ලබා ගන්නා බවයි.
එලෙස උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දින ලබා දෙන ලෙසට ද නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඉල්ලීමක් කළා.
ඒ අනුව මෙම පෙත්සම පෙබරවාරි මස 06 වනදා යලි කැදවනු ඇති.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සහ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට එරෙහිව රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් එකසිය විසි දෙදෙනෙකු අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණා.
එය සලකා බැලූ අභියාචනාධිකරණය නියෝග කළේ මොවුන්ට එම ධුරවල කටයුතු කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමටයි.
එම නියෝගය අභියෝගයට ලක්කරමින් මහින්ද රාජපක්ෂ ඇතුළු එවකට අමාත්‍ය මණ්ඩලයේ සිටි පිරිස ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ගොනු කරනු ලැබුවා.
කෙසේ වෙතත් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය අතිහිටුවන ලෙසට කර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් මස 14 වනදායි.
එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ එවකට අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරිය නොහැකි බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය විසි දෙදෙනෙකු අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම ද අද යලි කැදවනු ලැබුවා.
ඒ, දීපානි විජේසුන්දර සහ අර්ජුන් ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේයි.
ඒ අනුව මෙම පෙත්සම කැදවීම පෙබරවාරි මස 21 වනදා දක්වා කල් දැමීමටයි විනිසුරු මඩුල්ල නියෝග කළේ.