Gossips

මහා සිනමාවේදියාගේ යාවජීව සම්මානය ගැන, කොළඹ අපරාධ කොට්ඨාශයට ප්‍රකාශ 15ක්

හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිවසින් ඔහුට හිමි වූ යාවජීව ප්‍රණාම සම්මානය අතුරුදන්වීම පිළිබඳව පුද්ගලයන් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කළා.
එහි උසස් නිළධාරියෙකු සඳහන් කළේ අවමංගල්‍ය දිනයේදී පටිගත කෙරුණු වීඩියෝ දර්ශන මේ වන විට පරීක්ෂාවට ලක් කරන බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඊයේ දිනයේදී කොළඹ අපරාධ කොට්ඨාශයට විමර්ශන කටයුතු භාර දෙනු ලැබුවා.
කෙසේ වෙතත්, සැකකරුවන් සම්බන්ධයෙන් මේ දක්වා නිශ්චිත තොරතුරක් අනාවරණ වී නොමැති අතර, අවමංගල්‍ය කටයුතු සිදුවන දිනයේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිවසේ දුරකථනයක් කිසියම් පුද්ගලයෙකු සොරකම් කරන ආකාරය මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සැරි සරනවා.
මේ අතර, හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු සිදු කෙරුණු දිනයේදී නිවසින් අතුරුදන්වූ යාවජීව ප්‍රණාම සම්මානය කිසිවෙකු විසින් සොරාගෙන ගොස් ඇත්නම් එය තමන් වෙත ගෙනවිත් භාර දෙන ලෙස ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙනිය යළි ඉල්ලීමක් කළා.
අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට හිමිවී තිබූ මෙම සම්මානය නිවසින් අතුරුදන්වීම සම්බන්ධයෙන් විධිමත් හා කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ සහ නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ද උපදෙස් ලබාදී ඇති අතර, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ එම පරීක්ෂණ කටයුතු ද සිදුකෙරෙනවා.
තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය පසුගිය 2 වන දා උදෑසන නිදහස් චතුරශ්‍රය කරා රැගෙන යාමට ප්‍රථම නිවසේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මෙම සම්මානය අතුරුදන්ව ඇති බවටයි පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1965 වසරේ ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් දිල්ලි අන්තර්ජාතික සිනමා උළලේදී රණ මයුර සම්මානය හිමිකර ගත් අතර, යාවජීව ප්‍රණාම සම්මානය හිමිවූයේ ඉන් වසර 35 කට පසුවයි.