Gossips

මහා සංඝ රත්නයට අනන්‍ය වූ නීති පද්ධතියක් අවශ්‍යයි – මහ නාහිමිවරුන්

භික්ෂුන් වහන්සේට අනන්‍ය වූ නීති පද්ධතියක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාවයක් උද්ගත වී ඇති බව අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ සිරගතකර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සිංහල රාවය සංවිධානය අද (20) පෙරවරුවේ උන්වහන්සේ මුණ ගැසුණු අවස්ථාවේදීයි.
මෙම හමුව සිදුවූයේ ගල්කිස්ස – ධර්මපාලාරාමයේදීයි. මෙහිදී මහානාහිමියන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ත්‍රෛනිකායික හිමිවරුන් සහ කාරක සංඝ සභා ඒකාබද්ධව නව වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවයි.
මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා විවිධ පාර්ශව අදත් වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියා.
කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රි ධර්ම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් සහ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් එම අවස්ථාවට එක්ව සිටියා.
ඥාණසාර හිමියන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව අමාත්‍ය දුමින්ද දිසානායකද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ උන්වහන්සේ සතුටින් කල් ගෙවමින් සිටින බවයි.
එමෙන්ම සිකුරාදා දිනයේදී ඥාණසාර හිමියන්ට නිදහස ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.
මේ අතර, සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්අතේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අධිකරණ ඇමතිනි තලතා අතුකෝරාල කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
මෙම ලිපිය මගින් දක්වා ඇත්තේ අධිකරණ මගින් දෙනු ලබන තීන්දුවකදී සිරභාරයට පත්වන ඕනෑම පුද්ගලයෙක් සම්බන්ධයෙන් බන්ධනාගාර පනතේ ප්‍රතිපාදනවලට අනුව කටයුතු කිරීමට සිදුවන බවයි.
කෙසේ වෙතත්, බන්ධනාගාර පනතට අනුව සිරගත වන භික්ෂුන් වහන්සේ නමකගේ චීවරය ඉවත් කිරීමට කිසිදු අයිතියක් නොමැති බවයි ඒකාබද්ධ විපක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි සඳහන් කළේ.
මන්ත්‍රී සිසිර ජයකොඩි කියා සිටියේ වත්මන් ආණ්ඩුවට එරෙහිව අදහස් දක්වන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කරමින් සිටින බවයි.
ඥාණසාර හිමියන්ගේ චීවරය සිර මැදිරියේදී ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔහු එහිදී අවධාරණය කළා.
මේ අතර ඥාණසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ ජාතික භික්ෂුන් වහන්සේලා කිහිපනමක් අද පස්වරුවේ කොටුව දුම්රියපල ඉදිරිපිට උපවාසයක් ද ආරම්භ කළා.
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනය එළඹෙන සිකුරාදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගැනීමට නියමිතයි.