Gossips

මහා ශිව රාත්‍රී උළෙල අදයි

අඳුර පලවා හැර ශිව දෙවියන්ගේ පැමිණීම සහ නව සඳ උදාවීම සංකේතවත් කරමින් ලොව පුරා හින්දු ජනතාව එකමුතුව මහත් හරසරින් සහ බැතියෙන් මහ ශීවරාත්‍රී දිනය අද සමරනු ලබනවා.
ශිව දේව වන්දනාව හින්දු බැතිමතුන්ගේ වන්දනා පිළිවෙත් අතර ප්‍රමුඛස්ථානයක් හිමිවන අතර සොබාදහම ශිව දෙවියන්ගෙන් මුර්තිමත් වනවා සේම ජීවි සියල්ලේ උපත ද ශිව දෙවියන් බව හින්දු බැතිමතුන්ගේ ඇදහීමයි.
අපගේ මාතෘභුමියේ හා ලොව පුරා වෙසෙන හින්දු භක්තිකයන් ගේ එකී ආත්මීය ප්‍රාර්ථනා ඉටුවී, ඔවුන්ගේ ජීවිත ගුණ යහපත් වීමෙන්, ඔවුන් හා සමඟ වෙසෙන සියලු ජනයාගේ ජීවිත වලට ද එමගින් අලෝකයක් එක් කරන බවට සැකයක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශිව රාත්‍රී දිනයට සුභාශිංසන එක්කරමින් කියා සිටියා.
එසේම එය අන්තර් ආගමික සංහිදියාවට ද ඉඩ ප්‍රස්ථා සලසන බවද ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් සඳහන් කරනවා.
එමෙන්ම ලෝකවාසී හින්දු ජනයාගේ අධ්‍යාත්මික ජීවිත අලෝකවත් වේවා යන්න ඉතසිතින් සුභාශිංසනය කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
වාර්ගික, ආගමික, සංස්කෘතික විවිධත්වය තුළ පවතින සුන්දරත්වය මෙන්ම අගය හදුනාගැනීමට මහා ශිවරාත්‍රී දිනය අප සැමට අලෝකයක් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හින්දු ජනතාවට සුභාශිංසන එක්කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
ශිව රාත්‍රී දිනයට සුභ පැතුම් එක්කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ උසස් ආගම් සහ සංස්කෘතීන්ගෙන් සංකලනය වු, ඉවසීම සහ සාමය අගයන අභිමානවත් ජාතියක් සේ අප ආරක්ෂා කොටගත් සාමය තවදුරටත් වැඩි දියුණු වේවා යන්නයි.
එමෙන්ම සියලු හින්දු බැතිමතුන්ට සාමය සෞභාග්‍ය පිරි ආලෝකමත් ජීවිතයක් උදාවේවා යන්න හෘදයාංගමව ප්‍රාර්ථනා කරන බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සිය ශිව රාත්‍රි දින පණිවිඩයෙන් පෙන්වාදී තිබෙනවා.