Gossips

මහා පරාක්‍රමබාහු රජුත් බදු ගැසූ බව අගමැති අලුත් සහල් මංගල්‍යයේදී කියයි

52 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ පැවැත්වුණා.
සාම්ප්‍රදායිකව වාර්ෂික මාස් කන්නයේ නෙලා ගත් අස්වැන්නේ නොඉඳුල් සහලින් ජයශ්‍රීමහා බෝ සමිදුන් පිදීමේ උත්කර්ශවත් මංගල්‍යය, අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කර තිබුණා.
අලුත් සහල් මංගල්‍යය පෙරහර හෙළ චාරිත්‍රානුකූලව, මඟුල් බෙර, හේවිසි නද සහ හෙළ සංස්කෘතිකාංග මධ්‍යයේ නැගෙනහිර වාහල්කඩින් ඇතුළු වී ජයශ්‍රීමහා බෝ සමිදුන් පැදකුණුකොට පැමිණ වැලිමළුවේ උඩුවියනකින් සහ පාවඩින් සරසන ලද විශේෂ පීඨිකාවේ තැන්පත් කර ඇති රන් අලේපිත පාත්‍රයට පිරවීම ආරම්භ කෙරුණා.
පළමු සහල් මිට අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් සහ කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් ඇතුළු පැමිණ සිටි පිරිස මෙන්ම ප්‍රධාන ගොවි මහතුන් විසින් පාත්‍රයට එක් කරනු ලැබූ බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.
සෙත් පිරිත් සජ්ඡායනා මධ්‍යයේ පාත්‍රය පිරෙන තුරු සහල් පිරවීම දිවයිනේ සතර දෙසින් පැමිණි ගොවි, ගෙවිලියෝ සිදුකළ අතර අනතුරුව එම අවස්ථාවට එක්වූ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ ආරාධිතයින් පාත්‍රය සහලින් පුරවනු ලැබුවා.
කලට වැසි වසිත්වා, කෙත් වතු සාරවත්වේවායි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති වේවායි පතමින් රටට, ජාතියට සෙත් පැතීම ද මෙහිදී සිදුකෙරුණා.
සාම්ප්‍රදායිකව ජයශ්‍රී මහා බෝසමිදුන් වෙත පූජා කරන මීපැණි බඳුන ආදිවාසී නායක වන්නිලාඇත්තන් විසින් ජනාධිපතිවරයා වෙත මෙහිදී පිළිගන්වනු ලැබුවා.
දිවයිනේ පළාත් 9ම ආවරණය වන පරිදි එම ප්‍රදේශවලට ආවේණික වූ දේශීය වී වර්ග ගොවීන් වෙත බෙදා දීම ද ජනාධිපතිවරයා අතින් සිදුකෙරුණා.
අලුත් සහල් මංගල්‍යයට එක්වීමට පෙර ජනාධිපතිවරයා රුවන්වැලි සෑ රදුන් අභියස පැවති කිරිපිඩු පූජාවකට ද සහභාගි වී තිබෙනවා.
අලුත් සහල් මංගල්‍යයට එක්වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ආණ්ඩුවට දොස් කීමට පෙර මහා පරාක්‍රමබාහු රජතුමා ද බදු ගැසූ බව මතක තබා ගත යුතු බවයි.