Gossips

මහමැතිවරණය ගැන විපක්ෂයේ යෝජනාවට, මුස්ලිම් කොංග්‍රසයෙන් පිළිතුරු

එක්සත් ජාතික පක්ෂයට ජනබලයක් පවතින්නේ නම් කඩිනම් මහමැතිවරණයක් පැවැත්වීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂය ඊයේ සිදුකළ ප්‍රකාශයට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අද ප්‍රතිචාර දැක්වුවා.
එහි මහලේකම් නිසාම් කාරියප්පර් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම යෝජනාව ඉදිරිපත් කිරීමට වඩාත්ම සුදුසු පාර්ශවය විපක්ෂය බවයි.
ඊයේ (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම කියා සිටියේ ඉතා හොද ජන බලයක් එක්සත් ජාතික පක්ෂයට පවතින්නේ නම් මහමැතිවරණයක් පැවැත්වීමට අදාළව පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස එම පක්ෂයට අභියෝග කරන බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ගැටුම් සහිතව කැබිනට් මණ්ඩලයක් පවත්වාගෙන යාම යෝග්‍ය නොවන බැවින් මහමැතිවරණයක් පැවැත්වීම සුදුසු බවයි.
ඊට අදාළ යෝජනාව සඳහා ජනාධිපතිවරයාගේ එකඟතාව ලබා ගැනීම විපක්ෂයට පහසු කටයුත්තක් බව ද ඔහු පෙන්වා දුන්නා.
ඒ අනුව අදාළ යෝජනාව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය යුතු බවයි මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම්වරයාගේ අදහස වන්නේ.