Gossips

මහනුවර සිද්ධිය ගැන භික්ෂූන් වහන්සේලාගේ සහ පූජකවරුන්ගේ අදහස්

මහනුවර ප්‍රදේශයේ හටගත් නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ ප්‍රධාන සර්ව ආගමික පූජකවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කර සිටියා.
ඉතා සුළු සිද්ධියක් ලෙස බිහිවූ මෙය බාහිරව පවතින යම් යම් බලවේගවල ආධාරයෙන් විශාල සිද්ධියක් ලෙස ඉස්මතු කිරීමට උත්සාහ දරා ඇති බවයි ආගමික සමුළුව සංවිධානයේ සම ලේකම් මහාචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් කියා සිටියේ.
එවන් කටයුතුවලට ඉඩදිය නොහැකි බවද කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ ප්‍රකාශ කළා.
මෙම මාධ්‍ය හමුවේදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියේ අතීතයේ පටන් ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව, සිංහල ජනතාවත් සමග සමඟින් කටයුතු කළ අතර, ජාතිභේද පවත්වා ගැනීම නුසුදුසු බවයි.
ආගමික සමුළුව සංවිධානයේ සාමාජික ජාවිඞ් යුසුෆ් ද මෙහිදී අදහස් දැක්වූවා.
ඔහු කියා සිටියේ මෙම සිද්ධිය ජන කොටස් දෙකක් අතර ඇතිවූ සිද්ධියක් නොව එක් ජන කොටසකට සුළු දුෂ්ඨ බලවේගවලින් එල්ලවූ සිද්ධියක් බවයි.
පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් අද මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මෙම සිද්ධියත් සමග සිදුවූ දේපළ හානිය පියවීම සඳහා වියදම් වන්නේ මහජනතාවගේම මුදල් බවයි. එමෙන්ම සුළු ආස්වාදයක් ලැබෙන මෙවන් සිද්ධිවලින් අවසානයේ සැමට නරක පාඩම් ලැබෙන බවද උන්වහන්සේ සඳහන් කළා.
කොළඹ අද පැවති තවත් මාධ්‍ය හමුවකදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ ආණ්ඩුවේ සංහිඳියාව මාධ්‍යවලට පමණක් සීමාවී ඇති බවයි.
එමෙන්ම රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ද කොළඹ පැවති තවත් මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.
එහිදී උන්වහන්සේ කියා සිටියේ ලංකාවේ සම්පත් සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමේ ඩයස් පෝරාවේ වුවමනාව වන බැවින් ඒ සඳහා ඔවුන්ගේ ඉත්තන් පාවිච්චි කරමින් සිටින බවයි.
මෙහිදී උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ මාධ්‍ය ආයතනයක් වෙන්දේසි කිරීමේදී වැඩිම ලන්සුව තැබූ ලංකාවේ ව්‍යාපාරිකයාට එය ලබා නොදී විදේශීය සමාගමකට එය පැවරීමේ උත්සහයක් පවතින බවයි.
එමෙන්ම විදේශීය සමාගමකට ශ්‍රී ලංකාවේ කොටස් මිලදී ගත හැක්කේ සියයට 40 ක් පමණක් වන අතර, එම නීතිය කැබිනට් පත්‍රිකාවක් හරහා වෙනස් කර අදාළ විදේශීය සමාගමට ලබාදීමේ වැඩපිළිවෙල මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බවද පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් අවධාරණය කළා.